රට ගෝඨාට - වැඩි ඡන්ද 13,65,016 ක්


- දිස්ත්‍රික්ක 16ක් ජයගනී

- පළාත් 9න්  7ක්ම දිනුම්

- සජිත්ට ඡන්ද 55,64,239ක් -vදිස්ත්‍රික්ක 6ක් දිනයි

- අනුරට ඡන්ද 418,553ක්

මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කළ නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩි ඡන්ද දහතුන් ලක්‍ෂ හැටපන්දහස් දහසයකින් ජයග්‍රහණය කළේය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඡන්ද 6924255 ක් ලබාගත් අතර වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් එය සියයට 52.25 කි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් තරග කළ සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 5564239 ක් ලබා ගත් අතර එම ප්‍රමාණය වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 41.99 කි. ජාතික ජන බලවේගය පක්‍ෂයෙන් තරග කළ අනුර කුමාර දිසානායක මහතාට ඡන්ද 4,18,555 ක් හිමි වූ අතර එය වංලගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 3.16 කි.

ජනපතිවරණයට අදාළ ඡන්ද විමසීම පෙරේදා (16දා) පෙරවරු 7.00 ට ආරම්භවී පස්වරු 5.00 ට අවසන් විය.

ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා පළාත් නවයෙන් හතක් ජයග්‍රහණය කළේය. එසේම මැතිවරණ දිස්ත්‍රික්ක විසිදෙකෙන් දහසයක්ද ඒ මහතා විසින් ජයග්‍රහණය කරනු ලැබීය. පරාජයට පත්වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට ජයගත හැකිවූයේ දිස්ත්‍රික්ක හයක් පමණි.

උතුරු හා නැගෙනහිර පළාත් වලට, අයත් යාපනය, වන්නි, මඩකලපුව, ත්‍රිකුණාමලය, දිගාමඩුල්ල මෙන්ම නුවරඑළිය යන දිස්ත්‍රික්ක වල ජය සජිත් ප්‍රේමදාස මහතාට හිමිවිය.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, රත්නපුර, මොනරාගල, බදුල්ල, අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කවල ජය ගෝඨාභය රාජපක්‍ෂ මහතාට හිමිවිය.

උතුරු නැගෙනහිර පළාත්වල සියලු මැතිවරණ කොට්ඨාස සජිත් ප්‍රේමදාස මහතා ජයගත් අතර ආසන රැසක් වැඩි ඡන්ද 40,000 කට වඩා වැඩි ප්‍රමාණයකින් සජිත් ප්‍රේමදාස මහතාට ජය හිමිවිය.

එමෙන්ම දකුණු පළාතේ ගාල්ල මැතිවරණ කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතාට හිමිවූ අතර අනෙකුත් සියලු කොට්ඨාස වැඩි ඡන්දයෙන් ජය ගැනීමට ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමත් විය.

ඡන්ද ප්‍රකාශ කිරීම පෙරේදා (16දා) පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 12845 කදී සිදුවිය. පෙරවරු කාලයේ සිටම ඡන්ද මධ්‍යස්ථානවල දිගු පෝලිම් දක්නට ලැබුණු අතර රත්නපුර, මොනරාගල, ගාල්ල, කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකම සවස 2.00 පමණ වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය සියයට 70 ඉක්මවා තිබුණි. සවස 5.00 ට ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වීමෙන් අනතුරුව ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලැබීය.

තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 5.15 ට ආරම්භ විය. ඉන්පසුව ආසන මට්ටමින් ඡන්ද ගණන් කිරීම ආරම්භ විය. පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය රාත්‍රි 11.57 ට සහතික කිරීමට හැකිවූ බව මැතිවරණ කොමිසම පවසයි. කෙසේ වෙතත් එම ප්‍රතිඵලය නිකුත් වූයේ 17 දා අලුයමදීය.

අවසන් සමස්ත ප්‍රතිඵලය ඊයේ (17දා) දහවල් 2.54 ට සහතික කළ බවද මැතිවරණ කොමිසම පවසයි.

Post a Comment

0 Comments