කොළඹ කොටස් වෙළෙඳපොළ විනාඩි 15ක් ඇතුළත ඉහළ යයි
කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකය ඊයේ (18 දා) ගනුදෙනු අවසාන වන විට ඒකක 6129.56 දක්වා ඒකක 106.54 කින් සැළකිය යුතු ලෙස ඉහළ ගියේය.පසුගිය සිකුරාදා (15 දා) කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු අවසාන වන විට සමස්ත මිල දර්ශක අගය ඒකක 6023.02 ක් විය.එසේම ඊයේ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ වී මුල් විනාඩි 15 තුළදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 104 කින් ඉහළ යෑමද විශේෂත්වයකි.එසේම කොටස් වෙළෙඳපොළේ එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ද ගිය සිකුරාදා වාර්තා වූ ඒකක 2986.52 සිට ඊයේ (18 දා) දිනයේ ගනුදෙනු අවසන් වන විට ඒකක 3046.04 දක්වා ඒකක 59.52 කින්ද ඉහළ ගොස් තිබේ.පසුගිය නොවැම්බර් 15 දින වන විට මේ වසර (2019) ආරම්භයට සාපේක්‍ෂව කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය සියයට 0.48 කින් ඉහළ ගොස් තිබිණි.ඉකුත් නොවැම්බර් 16 දින ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජය ගැනීමෙන් පසුව කොටස් වෙළෙඳපොළ පැවති ආරම්භක දිනය වූයේ ඊයේ මෙසේ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැළකිය යුතු ප්‍රගතියක් වාර්තා කර ඇති අතර නොවැම්බර් 16 දින ඇතිවූ ආණ්ඩු වෙනසත් සමග වෙළෙඳපොළ ආයෝජක විශ්වාසය ඉහළ ගොස් තිබීම මෙයට හේතුව බවද වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.එසේම ඊයේ කොටස් වෙළෙඳපොළේ දෛනික පිරිවැටුමද සැළකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව කොටස් වෙළෙඳපොළේ දෛනික පිරිවැටුම ඊයේ දිනයේ රු. බිලියන 2.4 ක් ලෙස වාර්තා විය. එසේම මේ වසරේ දිනක් තුළ වාර්තා වූ වැඩිම කොටස් ගනුදෙනු ප්‍රමාණය වූ 18569 ද ඊයේ දිනයේ වාර්තා වීම විශේෂත්වයකි.
0 Comments