ඡන්ද පෙට්‌ටි ගෙනියන්න පැමිණි වාහනයේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා 58 ක්.... වාහනය හා රියෑදුරු අත්අඩංගුවට
ජනාධිපතිවරණයට අදාළව ඡන්ද පෙට්‌ටි නිකුත් කරන හම්බන්තොට සුචී ජාතික පාසලේදී ඡන්ද පෙට්‌ටි ප්‍රවාහනය කිරීමට පැමිණි වාහනයක තිබී ඡන්ද පත්‍රිකාවකට සමාන පත්‍රිකා තොගයක් සමග පුද්ගලයකු ඊයේ (15 දා) දහවල් හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඡන්ද පෙට්‌ටි ප්‍රවාහනය කිරීම සඳහා ගෙන්වා තිබූ වෑන් රථයක් හා එහි රියෑදුරු ලෙස කටයුතු කළ තිස්‌සමහාරාම මෝලකැපූපතාන පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි. අත්අඩංගුවට පත් වාහනය ඡන්ද පෙට්‌ටි ප්‍රවාහනය කිරීම සඳහා හම්බන්තොට සුචී පාසලේ රථගාලේ නතර කර තිබූ එකක් වන අතර එම වෑන් රථය මුල්කිරිගල ආසනයේ ඉත්තදෙමළිය ඡන්ද මධ්‍යස්‌ථානය වෙත වෙන් කර තිබූ වාහනයයි. ඡන්ද පෙට්‌ටි නිකුත් කිරීමෙන් පසු ඡන්ද පෙට්‌ටි සමගින් පැමිණි නිලධාරීන් වාහනය පරීක්‍ෂා කිරීමේදී වාහනයේ ඉදිරිපස අසුනට ඉදිරියෙන් ඇති කැබි හෝල් එකේ තිබී ඡන්ද පත්‍රිකාවට සමානව මුද්‍රණය කරන ලද පත්‍රිකා 58 ක් සොයාගෙන තිබේ. පසුව ඡන්ද මධ්‍යස්‌ථානය සඳහා යැමට පැමිණි නිලධාරීන් එම අවස්‌ථාවේදීම අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කර තිබේ. ඉත්තදෙමළිය ඡන්ද මධ්‍යස්‌ථානය සඳහා වෙනත් වාහනයක ඡන්ද පෙට්‌ටි ඇතුළු නිලධාරීන් පිටත් කර යවා තිබේ. ඡන්ද පත්‍රිකාවට සමානව මුද්‍රණය කර තිබූ පත්‍රිකා 58 සමගින් සැකකාර රියෑදුරු වාහනය ද සමගින් හම්බන්තොට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් වාහනය හා සැකකරු හම්බන්තොට මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට මූලස්‌ථාන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.
0 Comments