නාමයෝජනා දුන් දා සිට ජනපතිවරණය සාමකාමීයි - ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය කියයි.

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් දිනයේ සිට ඊයේ (13 දා) දහවල් වනතෙක් සාමකාමී වාතාවරණයක් පැවැති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය ඊයේ (13 දා) පැවසීය.

නාම යෝජනා භාරදීම පසුගිය ඔක්තෝබර් 07 වැනිදා සිදුවූ අතර එදින සිට ඊයේ (13 දා) දහවල් වනතෙක් තම නිරීක්‍ෂණ මධ්‍යස්ථානය එක්රැස් කරගත් තොරතුරු මත මෙය ප්‍රකාශ කරන බවත් එහි ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඊයේ පැවසීය.

බරපතල සිදුවීම් නැති අතර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හා නීති උල්ලංඝනය කිරීම් 743 ක් තම මධ්‍යස්ථානයට ලැබී තිබෙන බවත් ඒ අතර පොදුජන පෙරමුණට එරෙහිව පැමිණිලි 312 ක්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට එරෙහිව පැමිණිලි 307 ක්, ජාතික ජන බලවේගයට එරෙහිව පැමිණිලි 46 ක්, පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයට එරෙහිව පැමිණිලි 06 ක් සහ වෙනත් පක්‍ෂ සහ ස්වාධීන අපේක්‍ෂකයන්ට එරෙහිව පැමිණිලි 72 ක්ද ලැබී තියෙන බවත් ඒ මහතා කීය.

මෙම පැමිණිලි අතර පහරදීම් 45 ක්, රජයේ රැකියා ලබාදීම් 38 ක්, පොදු දේපළ අවභාවිතාව 129 ක්, බඩු බෙදීම් 74 ක් ඇතුළු විවිධ පැමිණිලි මේ අතර තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments