මෙවර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවුණේ ස්මාර්ට් අයුරින් ජනතා තීන්දුවට ගරු කරනවා - අනුර කුමාර දිසානායක


ජනාධිපතිවරණ තීන්දුව ජනතා තීන්දුවක් බැවින් තම බලවේගය ඊට ගරු කරන බවත් මෙම ඡන්ද ප්‍රතිඵලය තවදුරටත් මේ රට ජාතීන් මෙන්ම ආගම් ලෙස බෙදීමට ලක්කර ඇති බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (18 වැනිදා) සඳහන් කළේය.

තම බලවේගය වෙත හිමිවූ ඡන්ද ප්‍රමාණය කෙසේ වෙතත් තවදුරටත් ජනතාව මත එල්ලවන ඕනෑම ආකාරයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ට එරෙහිව පක්ෂ පාට නොබලා සටන් කරමින් සෑම පාර්ශ්වයක්ම ආරක්ෂා කරන බවත් හෙතෙම පැවසීය.

තම බලවේගය වෙත විශ්වාසය පළ කළ ලක්ෂ හතරක් ජනතාවගේ විශ්වාසය කිසිදු සැකයකින් තොරව සුරක්ෂිත කරන බවද අසමාන කොන්දේසි යටතේ ජනාධිපතිවරණයට තරග කිරීම අවසන් ප්‍රතිඵලයට හේතු වූ බවත් දිසානායක මහතා කීවේය.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවම යැයි ඇතැමුන් කීවද මෙවර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවූයේ “ස්මාර්ට්” අයුරින් බවත් ඔහු කියා සිටියේය.

රාජ්‍ය හා ඇතැම් පුද්ගලික මාධ්‍ය ඡන්දදායකයන් ප්‍රකම්පනයට ලක්වන ලෙස කටයුතු කළ බවත් එම තත්ත්වය ඡන්ද කාඞ් මංකොල්ලකෑම් හා සමාන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (18 වැනිදා) එම අදහස් පළ කළේ බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

Post a Comment

0 Comments