ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම මගේ රජයේ මූලික වගකීමයි - රුවන්වැලි සෑය අබියස සිට ජාතිය අමතමින් නව ජනපති ගෝඨාභය රාජපක්‍ෂ කියයි
- මගේ ධුර කාලය තුළ බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කරනවා- ඓතිහාසික ජනවරම ක්‍රියාත්මක කිරීමට නව රජයක් පිහිටුවනවා-අපේ රටේ ඒකීයත්වයට ස්වෛරීභාවයට ගරු කරන ලෙස ලොව සියලු රටවලින් ඉල්ලනවාසෞභාග්යමත් දේශයක් ගොඩනැගීම සඳහා ලබාදුන් ඓතිහාසික ජනවරම ක්‍රියාත්මක කිරීමට තමන් නව රජයක් පිහිටුවන බවත්, රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් ලෙස සැවොම එක්වන ලෙසත් හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (18දා) අනුරාධපුරය රුවන්වැලිසෑය අබියසදී දිවුරුම් දීමෙන් පසු ජාතිය අමතා පැවසීය.අනුරාධපුර රුවන්වැලි සෑ සලපතල මළුවේ දුටුගැමුණු ස්මාරකය අබියසදී දිවුරුම් දෙමින් එහි සකසා තිබූ විශේෂ පීඨිකාවක සිට ඒ මහතා ජාතිය ඇමතීය.එහිදී නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජාතිය අමතමින් මෙසේද පැවසීය.බුදුන්වහන්සේගේ ද්‍රෝණියක් සර්වඥ ධාතූන්වහන්සේලා තැන්පත් කොට ඉදිකරන ලද, මේ ඓතිහාසික ස්වර්ණමාලී මහා සෑ පුද බිමේ සිට ඔබව අමතන්නට ලැබීම මා ලද සුවිශේෂී භාග්‍යයක්.ශ්‍රී ලාංකේය රාජවංශයේ ශ්‍රේෂ්ඨතම නරපතියෙකු වන දුටුගැමුණු මහ රජුන්ගේ පිළිරුව අභියස සිට ජාතිය අමතන්නට අවස්ථාව ලැබී තිබෙන්නේ මේ රටේ බහුතරයක් ජනතාව විසින් මට ලබා දුන් ඓතිහාසික ජන වරම නිසයි.අද මා ඔබ හමුවන්නේ අප සියලු දෙනාම ආදරය කරන මේ මව්බිමේ විධායක ජනාධිපතිවරයා, සේනාධිනායකයා මෙන්ම ඔබේත් ඔබේ දූ දරුවන්ගේත් ආරක්ෂාවේ වගකීම බාරගන්නා ආරක්ෂක ඇමැතිවරයා වශයෙනුයි. සියල්ලටම පෙර මා ඉතා ගෞරවයෙන් සඳහන් කරන්නට කැමතියි මේ මැතිවරණය ජයග්‍රහණය සඳහා වූ සුවිශේෂීම පිටිවහල වූයේ අප රටේ සිව්දිග වැඩවසන ගරුතර මහා සංඝරත්නය විසින් ලබාදුන් ආශිර්වාදය බව මේ ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය වන්නේ බහුතර සිංහල ජනතාව බව අප මුල සිටම දැනසිටියා.සිංහල ජනතාවගේ සහායෙන් පමණක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකිව තිබුණත් මා දමිළ හා මුස්ලිම් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළා ඔබත් ඒ ජයග්‍රහණයේ කොටස්කරුවන් වන්න කියා.එයට ප්‍රතිචාරය නම් මා අපේක්ෂා කළ මට්ටමට තිබුණේ නැහැ. එහෙත් මා ඔබේ නව ජනාධිපතිවරයා වශයෙන් යළිත් ඉල්ලා සිටින්නේ මේ රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන්, සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස එකට එක්වන ලෙසයි.මා වෙනුවෙන් ඡන්දය භාවිතා කළ සියලුම ඡන්දදායකයන්ට මම මේ අවස්ථාවේ මගේ ස්තූතිය හා ගෞරවය පුද කරනවා. එමෙන්ම මා වෙනුවෙන් ඡන්දය භාවිත කළත් නොකළත්, ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතියට ගරු කරමින් කවර හෝ අපේක්ෂකයෙකු වෙනුවෙන් ඔබේ වටිනා ඡන්දය භාවිත කළ අනෙකුත් ඡන්දදායකයන්ටත් ස්තූතිවන්ත වෙනවා.දකුණේ සිංහල බෞද්ධ පවුලකින් පැවතගෙන එන මා අධ්‍යාපනය ලැබුවේත් ලංකාවේ ප්‍රධාන පෙළේ බෞද්ධ පාසලක් වන, කොළඹ ආනන්ද විද්‍යාලයේ. ඒ නිසා බෞද්ධ දර්ශනය හැම විටම මගේ සිතුවිලි වලට හා ගතිපැවතුම්වලට එක් වී තිබෙනවා.බෞද්ධ දර්ශනය තුළ ඉදිවන්නේ නීතිය, යුක්තිය හා සාධාරණත්වය සහතික වන ධර්මානුකූල වූ රාජ්‍යයක්. සියලුම ජාතිකයන්ට සියලුම ආගමිකයන්ට, ක්‍ෂේම භූමියක් වූ පාලන තන්ත්‍රයක්.මගේ ධුර කාලය තුළ මේ රටේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට මම කැප වෙනවා. වසර දහස් ගණනක් ඉතිහාසයක් ඇති සිංහල සංස්කෘතිය හා උරුමයන් අප හැම විටම ආරක්ෂා කළ යුතුයි. ඒ නිසා අපේ සාරධර්ම, පාරම්පරික සිරිත් විරිත් හා අපේ කම ආරක්ෂා කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා. ඉතිහාසය පුරා මේ රටේ ප්‍රධාන සංස්කෘතිය හා බැඳී සාමයෙන් සහජීවනයෙන් ජීවත් වූ සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට තම ආගමික හා ජාතික අනන්‍යතාවන් රැකගෙන ගෞරවාන්විතව ජීවත් වීමට ඇති අයිතිය අපි හැම විටම සුරකිනවා.මැතිවරණ ව්‍යාපාරය පුරා මට අයෝමය ශක්තියක් වූ, මගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වී ක්‍රියාකළ ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති, පොදු ජන පෙරමුණේ නායක, මහින්ද රාජපක්ෂ මැතිතුමාට මගේ ගෞරව පූර්වක ස්තූතිය පුදකරනවා. ඒ සමඟම ඔබතුමන්ට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා.මගේ ජයග්‍රහණයට විශාල ශක්තියක් වූ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ යාන්ත්‍රණයේ නිර්මාතෘවරයා වන, පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාටත් විශේෂ ස්තුතියක් මම මේ අවස්ථාවේ පුද කරනවා.පක්ෂයේ සභාපතිතුමා, මහලේකම් තුමා ඇතුළු සියලුම නිලධාරීන්ට, මහජන නියෝජිතයන්ට හා සාමාජිකයන්ටත් මම ස්තූති කරන්න කැමතියි. එසේම මට සහාය දීමට එක්වී මෙම මැතිවරණ ව්‍යාපාරය තුළ සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කළ සියලුම දේශපාලන පක්ෂවල නායකයන්ටත්, එම පක්ෂවල නිලධාරීන්ට හා සාමාජිකයන්ටත් මේ අවස්ථාවේදී මගේ හෘදයාංගම ස්තූතිය පුද කරනවා.මෙම මැතිවරණයේදී රටේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පුරවැසියන් අතර වෙන කවරදාවත් නැති උද්‍යෝගයක් අප දුටුවා. කිසිදු දේශපාලන පක්ෂයක් වෙනුවෙන් මින් පෙර මැතිවරණ ක්‍රියාවලියකට සහභාගී නොවූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙවර අප වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩකළා.වියත්මග වැනි වෘත්තීයවේදීන්ගේ සංවිධාන, විවිධ ජාතික සංවිධාන, ව්‍යාපාරිකයන්, වෘත්තිකයන්, විද්වතුන්, කලාකරුවන්, සමාජ ජාලා ක්‍රියාකාරිකයන්, ඡන්දය දීම සඳහාම ලංකාවට පැමිණි අපේ විදේශගත ශ්‍රමිකයන් මෙන්ම තරුණ පරපුර මේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් දුන් සුවිශේෂී දායකත්වය මා අගය කරනවා.ඔවුන් බොහෝ දෙනෙක් පෞද්ගලිකව මා හමුවී නැතත් මේ අවස්ථාවේ රට වෙනුවෙන් ඔවුන්ගේ යුතුකම කැපවීමෙන් ඉටු කළා. ඒ සියලු දෙනාටම මේ අවස්ථාවේ මගේ ස්තූතිය පුද කරනවා. දැන් අපට තිබෙන්නේ ජාතියක් වශයෙන් එකට එක්වී මේ රට ගොඩ නැගීමේ වගකීමයි.ඡන්දය භාවිත කළ ඔබ විසින් මේ ජන වරම මට ලබා දී තිබෙන්නේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා අප විසින් රටට යෝජනා කළ ‘ජනතාව විසින්’ ‘ජනතාව උදෙසා’ සකස් කළ ‘ජනතා වැඩපිළිවෙළ’ ක්‍රියාත්මක කිරීමටයි.එය මේ රටේ ඒකීයත්වය, ස්වෛරීත්වය හා ආරක්ෂාව සුරක්ෂිත කරන වැඩපිළිවෙළක් - මේ රටේ ජීවත්වන සියලු පුරවැසියන්ගේ අපේක්ෂා ඉටුකරන වැඩපිළිවෙළක් - අනාගත පරපුරට ආඩම්බරයෙන් ජීවත්විය හැකි සෞභාග්‍යමත් දේශයක් ගොඩනංවන වැඩපිළිවෙළක්.මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු වන සියලු කරුණු මගේ ධුර කාලය තුළ ඉටු කිරීමට මම කටයුතු කරනවා. ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම මගේ රජයේ මූලික වගකීමක් ලෙස සලකනවා. අපේ මව්බිම ත්‍රස්තවාදයෙන්, පාතාල ක්‍රියාකාරකම්වලින්, සොර බියෙන්, කප්පම්කරුවන්ගෙන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන්, කාන්තා හා ළමා හිංසනයෙන් තොර සුරක්ෂිත රටක් කරන්නට අවශ්‍ය රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය අපි යළිත් ශක්තිමත්ව ගොඩනංවනවා.අපි සෑම රටක් සමඟම මිත්‍රශීලිව කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. ලෝක දේශපාලනය තුළ විවිධ ජාතීන් අතර බල අරගලයන්ට මැදිවන්නට අපට අවශ්‍යතාවක් නැහැ. අප සමඟ සම්බන්ධතා පැවැත්වීමේදී අපේ රටේ ඒකීයත්වයට හා ස්වෛරීත්වයට ගරු කරන ලෙස අප සියලු රටවලින් ඉල්ලා සිටිනවා.අනාගත පරපුර වෙනුවෙන් පරිසරය සුරැකීම අපේ මූලික වගකීමක්. ඒ නිසා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු ඉටුකිරීමේදී ලෝකයේ ඉදිරියෙන්ම සිටිනා රටක් බවට ලංකාව පත්කිරීමට අප කැප වෙනවා.මේ මැතිවරණය ආරම්භයේ සිටම අපි මේ රටේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් කරන්නට කැපවුණා. ප්‍රතිවාදීන්ට අපහාස නොකරන, ප්ලාස්ටික් පොලිතීන් වලින් තොර, පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයක් හරහා අන් සියලු දෙනාටම ආදර්ශයක් සපයන්නට අපට පුළුවන් වුණා. රාජ්‍ය පාලනය තුළත් ඒ ආදර්ශමත්භාවය දිගටම පවත්වාගෙන යන්නට මම ක්‍රියා කරනවා.නීතියේ ආධිපත්‍යයට ගරුකරන, සමාජ සාධාරණත්වය සුරකින, දූෂණයෙන් වංචාවෙන් තොර, සැබෑ ජනතා සේවයට කැපවුණ, වෘත්තීමය හා කාර්යක්ෂම රාජ්‍ය තන්ත්‍රයක් යළි මේ රටේ ස්ථාපිත කරන්නට මම ඔබට පොරොන්දු වෙනවා.ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ පොරොන්දු වූ ආකාරයටම, අපේ පාලන ක්‍රමය තුළ විවිධ වගකීම් පැවරීමේදී හැකියාවට හා දැනුමට හැම විටම මුල් තැන ලබා දෙනවා. අපේ අනාගත පරපුර වෙනුවෙන් ඉටුකිරීමට වගකීම් රාශියක් අප සතුව තිබෙනවා. ගෝලීය නව ආර්ථික ප්‍රවණතාවන්ගෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම සඳහා ඔවුන් දැනුමින් සන්නද්ධ කිරීමට හා ඔවුන්ගේ කුසලතා වර්ධනයට උපකාර කිරීමට අප ප්‍රමුඛතාවක් දී කටයුතු කරනවා.21 වන ශතවර්ෂයේ අභියෝගයන්ට මුහුණදීමට අපේ ජනතාව සූදානම් කිරීම සඳහා රටේ සෑම ක්ෂේත්‍රයකම නව තාක්ෂණය භාවිතය පුළුල් කරනවා. අපගේ සමස්ත ජීවන රටාව තුළම ගුණගරුක බව, නීතිගරුක බව හා විනයගරුක බව රකින සමාජයක් ගොඩනැඟීම සඳහා ඔබ සියලුදෙනාගේම සහාය මම බලාපොරොත්තු වෙනවා.ජනාධිපතිවරයා වශයෙන් මගේ වගකීම වන්නේ රටේ සියලුම ජනතාව වෙනුවෙන් සේවය කිරීමටයි. ඒ අනුව මට ඡන්දය දුන් නොදුන් සියලු දෙනාගේම පුරවැසි අයිතිවාසිකම් මම ආරක්ෂා කරනවා. අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව ජනතා අපේක්ෂාවන් ඉටුකරන්නට මම සැමවිටම කැපවෙනවා.අප ඉදිරියේ විශාල වගකීම් සම්භාරයක් තිබෙනවා. විශාල වැඩ කොටසක් කෙටි කලක් තුළ ඉටු කරන්නට තිබෙනවා. වුවමනාව තිබෙනවා නම් අපට කරන්නට බැරි දෙයක් නැහැ, ජයග්‍රහණය කළ නොහැකි අභියෝගයක් නැහැ.රට ගොඩනැගීම් සඳහා අවශ්‍ය කරන දැක්ම අප සතුව තිබෙනවා. ඒ සඳහා සැලසුම් ‘සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය’ හරහා අපි ඔබට ඉදිරිපත් කොට තිබෙනවා.මා මේ රටේ විධායක ජනාධිපතිවරයායි. රටේ යහපත වෙනුවෙන් මගේ විධායක බලතල ක්‍රියාත්මක කිරීමට මම කිසි විටක පසුබට වන්නේ නැහැ. ඒ අනුව සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම සඳහා ජනතාව විසින් ලබා දී ඇති මෙම ඓතිහාසික ජනවරම ක්‍රියාත්මක කිරීම සඳහා මගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කළ හැකි නව රජයක් මා පිහිටුවනවා.මම මගේ රටට ආදරය කරනවා, මම මගේ රට ගැන ආඩම්බර වෙනවා, මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා. අනාගත පරපුර වෙනුවෙන් සෞභාග්‍යමත් දේශයක්ගොඩනැඟීම සඳහා මා සමඟ එක්වන මෙන් සියලුම දේශප්‍රේමී ශ්‍රී ලාංකික ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා.
0 Comments