ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයම නිල කාලයේදී ඉටු කරනවා - ගෝඨාභය රාජපක්‍ෂ

තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ජාතික වැඩපිළිවෙළක් මිස එය මැතිවරණ පොරොන්දු පත‍්‍රයක් නොවන්නේ යැයි ද එහි සඳහන් සියලූ දේ සිය නිල ධුර කාලයේදී ක‍්‍රියාත්මක කොට ඉටු කරන්නේ යැයි ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා එසේ පැවසුවේ පෙරේදා (02 වැනිදා) පස්වරුවේ බියගම සියඹලාපේ මංසන්ධියේ පැවැති එම පෙරමුණේ ජනාධිපතිවරණ ප‍්‍රචාරණ රැුලියේදී ය.

බියගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොල මහතා විසින් මෙම රැුලිය සංවිධානය කරන ලදි.

එහිදී රාජපක්‍ෂ මහතා මෙසේද කීය.

මේ රටේ පුරා වසර 30 ක් තිස්සේ පැවතුන කුරිරු කොටි ත‍්‍රස්තවාදය පරාජය කරලා එවැනි ත‍්‍රස්තවාදයක් නැවත මේ රටේ ඇති නොවන ආකාරයට රටේ ජාතික ආරක්‍ෂාව තර කළා. නමුත් මේ වත්මන් රජය එම ජාතික ආරක්‍ෂාවට කිසිම ප‍්‍රමුඛස්ථානයක් දුන්නේ නැහැ. මේ රජය අපගේ වීරෝදාර රණවිරුවන් ජාත්‍යන්තර උසාවිවලට ගෙන යන්න හැකිවන සම්මුතිවලට අත්සන් කළා. එපමණක් නොවෙයි, රණවිරුවන් සිර කළා. අපගේ පාලන කාලයේ තිබූ ජාතික ආරක්‍ෂිත වැඩපිළිවෙළ මේ රජය අමතක කර දැමුවා. ජාතික ආරක්‍ෂාව සම්බන්ධව කටයුතු කළ නිලධාරීන් වෙන ස්ථානවලට මාරු කර දැම්මා.

නමුත් අපි නැවත බලයට ආවට පස්සේ අපේ ජාතික ආරක්‍ෂාව නැවතත් තහවුරු කරනවා. නැවත අන්තවාදී ත‍්‍රස්තවාදයට රටේ ඉඩ තබන්නේ නැහැ. එය කළ හැක්කේ අපට පමණි.