නව යුගයක් ඇරඹී ඇත. ඒ නව යුගය අලුත් රටකට මාවත විවර කරනු ඇත. ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්‌ෂ මහතාට සුබ පැතුම් පිරිනමන අතර ඔහු වෙනුවෙන් ජනතාව යුතුකම ඉටුකර ඇති බව මතක් කරමු. දැන් නව ජනපතිවරයා ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කළ යුතුය. ඒ සඳහා වසර පහක කාලයක් ඉදිරියට ඇත. නව ජනපතිවරයා තේරී පත්වූයේ බහුතරයේ ඡන්දයෙනි. විශේෂයෙන්ම දකුණේ ජනයාගේ අති බහුතර කැමැත්තෙන් රාජපක්‌ෂ මහතා ජනපති ලෙස තේරී පත්ව ඇත. අලුත් රටක් නව යුගයක් උදාකරන විට සියලුම ශ්‍රී ලාං කියන් ගැනම අවධානය යොමු කළ යුතුය. ඡන්දය දුන් අය ගැන මෙන්ම ඡන්දය නොදුන් අය ගැනත් එකසේ අවධානය යොමු කළ යුතුය. සියලු ශ්‍රී ලාංකිකයන්ගේම නායකයා ගෝඨාභය රාජපක්‌ෂ මහතාය. එතුමා සැමට සාධාරණය ඉටුකරන බවට කිසිදු සැකයක් නැත. වෙනදා උතුරේ ඡන්ද ජනපතිවරයා තේරීමේදී තීරණාත්මක වුවද මෙවර දකුණේම ඡන්දයෙන් උතුරේ මතය ලොප් විය. සිංහල ජනතාවගේ ඡන්දය බලවත් අවියක් විය. මෙවර තීරණාත්මක වූයේ සුළු ජාතික ඡන්ද නොවීම විශේෂයකි. නමුත් අලුත් රටක් ගොඩ නගන විට සැවොම එක්‌වී ඉදිරියට යායුතුය. අනෙකා කෙරෙහි වෛරයෙන් ද්වේශයෙන් බැලීම බැහැර කළ යුතුය.
මෙවර ජනාධිපතිවරණයේදී ජාතික ආරක්‌ෂාව ප්‍රමුඛව සාකච්ඡා විය. සුරක්‍ෂිත රටක් ඇති කිරීම සෑම වේදිකාවකම කතා බහට ලක්‌විය. යළි නැවත සහරාන්ගේ භීෂණය ඇති නොවන්නට වඩා හොඳින්ම ජාතික ආරක්‌ෂාව තහවුරු කළ හැකි තැනැත්තා කෙරෙහි ජනතා මනාපය පළවී ඇති බව සැක නැත. එය වඩා සුවිශේෂය. තිස් වසරක යුද බිය නැති කළ ප්‍රමුඛයාට හොඳින් ජාතික ආරක්‌ෂාව සුරක්‍ෂිත කළ හැකි බව ජනතාව තරයේ විශ්වාස කරති. අන්තවාදය නැති රටක් අන්තවාදය පවතින වැඩෙන්නට ඉඩදී අහක බලාගෙන සිටින පාලන තන්ත්‍රයක් ජනතාවට අවශ්‍ය නැත. යහපාලනය ප්‍රතික්‍ෂේප වූයේද එනිසාය. ජනතාව ගෝඨාභය තෝරා ගත්තේද ඔහුගේ පාලන තන්ත්‍රය තුළ කිසිම අන්තවාදයකට ඉඩ නොලැබෙන නිසාත්ය. ඇත්තෙන්ම මෙවර ජනාධිපතිවරණයේදී බහුතරය බඩ ගැන නොව රට ගැන සිතා ඇති බව පැහැදිලිය. එය අගය කළ යුතුය. අලුත් පරම්පරාව වගකීමෙන් යුතුව ඡන්දය භාවිතා කර ඇත. එසේම මේ මැතිවරණ කටයුතු ඉතා ආදර්ශවත් අන්දමින් සිදු කෙරෙණි. ලේ හැළීම් වෙඩි තබා ගැනීම් නැත. මිනීමැරුම් සිදු නොවූ ජනාධිපතිවරණයක් ලෙස මෙය ඉතිහාසයට එක්‌වෙයි. එයින් පෙනෙන්නේ ලක්‌වැසියා වඩා ශිෂ්ට සම්පන්න වී ඇති බව පැහැදිලිය. 81% ක් ඡන්දය භාවිතා කළේ වඩා හොඳ රටක් ගොඩනැගීම වෙනුවෙනි. නිහඬව ඡන්දපළට ගිය ඔවුහු සිය කැමැත්ත පළ කර සාමකාමීව නිවසට ගියහ. ප්‍රචණ්‌ඩත්වයෙන් දේශපාලන ජයග්‍රහණ උදාකර ගත නොහැකිය. මඩ ප්‍රහාර මෙන්ම ව්‍යාජ පුවත් හරහාද ජනතා කැමැත්ත වෙනස් කිරීමට හැකි වූයේ නැත. ඒවා හිස් වාතලයට මුසුවිය. ලක්‌වැසියන්ට අවශ්‍ය වූයේ කෙලින් තීරණ ගන්නා තද නායකයෙකි. ඒ බලාපොරොත්තුව ඉටුව ඇත. අලුත් රට බිහිවන්නේ ඔහුගේ නායකත්වය යටතේය. එය සැමගේ ප්‍රාර්ථනාවන් ඉටුවීමකි. සුවහසක් දෙමාපියෝ තම දරුවන්ට යහපත් හෙටක් උදා කරන නායකයෙක් පැතූහ. එනිසාම ගෝඨාභය රාජපක්‌ෂ මහතා කෙරෙහි ලක්‌වැසි සියල්ලෝම මහත් බලාපොරොත්තු තබා ඇත.
නව ජනපතිතුමා අද දිනයේ දිවුරුම් දෙන්නේ සිංහල බෞද්ධයන්ගේ අතිශය වන්දනීය පුද බිමක් වන රුවන්වැලි සෑ පරිශ්‍රයේදීය. එය බෙහෙවින් අගය කළ යුතුය. දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑ රදුන් ඉදිකිරීම අරඹණු ලැබුවේ වෙසක් පොහොය දිනක විශාඛනක්‌ෂත්‍ර මණ්‌ඩලය යටතේ බව ඉතිහාසයේ සඳහන් වේ. අනූහය කෝටියක් රහතුන් වැඩම කළ මේ උතුම් පින් බිමේදී නව ජනපතිවරයා දිවුරුම් දෙනු ඇත. අතීත උරුමය රැකගනිමින් යහපත් හෙටක් උදාකරලීමට නව ජනපතිතුමාට ත්‍රිවිධ රත්නයේම ආශිර්වාදය හිමිවන බව සැක නැත. සියලු පුරවැසියෝම දැස් දල්වා බලා සිටින්නේa එක් පුද්ගලයකු දෙසය. ඒ ගෝඨාභය රාජපක්‌ෂ මහතා දෙසය. ඔබට ජය ·
0 Comments