ජනතාව මා කෙරෙහි තැබූ විශ්වාසය ඒ අයුරින්ම ඉටු කරනවා - ගෝඨාභය රාජපක්‍ෂ කියයි

තමා වෙනුවෙන් ඡන්දය භාවිතා කළ හා නොකළ සියලු රටවැසියාගේ ජනාධිපතිවරයා තමන් බව හොඳින්ම තේරුම් ගෙන ඇති බවත් ජාතියත්, ආගමත් ගැන නොතකා ශ්‍රී ලාංකිකයන් වශයෙන් මෙරට වෙසෙන සෑම ශ්‍රී ලාංකිකයකුටම සේවය කිරීමට බැඳී සිටින බවත් අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (17 වැනිදා) පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (19 වැනිදා) එම අදහස් පළ කළේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනාධිපතිවරණ අවසන් ප්‍රතිඵල දැනුම්දීම සඳහා කැඳවා තිබූ රැස්වීමෙන් අනතුරුව අදහස් දක්වමිනි. රාජගිරිය පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේදී ජනාධිපතිවරණ අවසන් ප්‍රතිඵල දැනුම්දීම සිදුකෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙසේද කියා සිටියේය.

මා කෙරෙහි විශ්වාසය තබා නව ජනාධිපතිවරයා ලෙසින් තෝරාපත් කර ගැනීම පිළිබඳව සියලු ජනතාවට ස්තූතිවන්ත වෙනවා. ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය ඒ අයුරින්ම ඉටුකරන බව සියලු දෙනා හට දන්වන්නට කැමතියි.

ඒ වගේම සාමකාමී සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් කැපවී කටයුතු කළ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු සියලු සාමාජිකයන් වෙත මාගේ ගෞරව ස්තූතිය පුද කරනවා. ඒ සඳහා මැතිවරණ කොමිසම වෙත සහාය දැක්වූ ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු සෑම ආයතනයකටම මාගේ ස්තූතිය පුද කරනවා.

මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඔබ වෙත ඉදිරිපත් කළ සියලු කරුණු මාගේ ධුර කාලය තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව දන්වන්න කැමතියි. එසේම මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් මතක් කළ පරිදි මේ රටේ පැවැත්වීමට නියමිත අනෙකුත් මැතිවරණ නිසි කලට පැවැත්වීම සඳහා මාගේ සම්පූර්ණ සහාය දෙන බව මෙම සභාවට දන්වන්න කැමතියි.

සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා පැවැති මැතිවරණ සංස්කෘතිය වෙනස් කිරීමට හැකිවීම පිළිබඳ මම සතුටු වෙනවා. මාගේ මැතිවරණ ව්‍යාපාරය තුළ මා කිසිවකු විවේචනයට ලක් කළේ නැහැ. එසේම පෝස්ටර් හා ප්ලාස්ටික් භාවිත කිරීමෙන් තොරව අපගේ මැතිවරණ ව්‍යාපාරය කරගෙන යා යුතු බව අපට සහාය දක්වන සැමගෙන් මා ඉල්ලා සිටියා. ඒ ඉල්ලීමට ඇහුම්කන්දී පෝස්ටර් භාවිතා නොකර මැතිවරණ ව්‍යාපාරය කරගෙන ගිය සැමට මා ස්තූතිය පුද කරනවා.

මා හට ඡන්දය ලබාදුන් සහ ලබානොදුන් සියලු රටවැසියාගේ ජනාධිපතිවරයා මා බව මම හොඳින්ම තේරුම්ගෙන තිබෙනවා. ආගමත්, ජාතියත් ගැන නොතකා ශ්‍රී ලාංකිකයන් වශයෙන් මේ රටේ වෙසෙන සෑම ශ්‍රී ලාංකිකයකුටම සේවය කිරීමට මා බැඳී සිටිනවා. ඒ කාර්යය ඒ ආකාරයෙන්ම ඉටුකිරීමට මම වගබලා ගන්නවා.

එහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා-

ප්‍රථමයෙන් පැවැති ජනාධිපතිවරණයෙන් මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත්වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අපගේ සුබ පැතුම් එක්කරනවා.

ශ්‍රී ලංකාවාසී ජන ප්‍රජාවට ද මාගේ ස්තූතිය සහ ගෞරවය මා මේ අවස්ථාවේ පුද කරනවා. පුරා වසර 25 ක් මුළුල්ලේ මගේ දේශපාලන ජීවිතයේ ප්‍රධානතම අරමුණ වූයේ අප මාතෘ භූමියට සේවය කිරීමයි.

අප පිළිගත් ප්‍රතිපත්ති ජයග්‍රහණය කරවීමට දිවා රෑ නොබලා කටයුතු කළ සියලු දෙනාට මා නැවතත් මාගේ ස්තූතිය සහ ප්‍රණාමය පුද කරනවා.

පසුගිය වසර පහ පුරා අප ස්ථාපනය කළ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවත්, ආයතනික ප්‍රතිසංස්කරණ සහ ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙස අතිශයින්ම නිදහස් හා සාමකාමී මැතිවරණයක් භුක්ති විඳීමට සියලු දෙනාටම පුළුවන්කම ලැබුණා.

තවදුරටත් මේ නිදහසේ ස්වාධීනත්වයේ ශක්ති සම්පන්නභාවය තහවුරු කරමින් එම ආයතනවල ක්‍රියාදාමයන් ශක්තිමත් කිරීමට කටයුතු කරන ලෙස යෝජනා කරනවා.

මේ මැතිවරණ ව්‍යාපාරයට සහභාගි වුණු සියලුම දේශපාලන පක්‍ෂවල සාමාජික සාමාජිකාවන්ට සාමකාමී පරිසරයක් තුළ කිසිදු හිරිහැරයක් නොවන ආකාරයට කටයුතු කිරීමට අවශ්‍ය ක්‍රමවේදය ක්‍රියාත්මක කරන ලෙස මා ඉල්ලා සිටිනවා.

නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ මැතිවරණ කොමිසමේ සභාපතිතුමාටත්, එහි සාමාජිකයන්ටත්, සියලුම නිලධාරීන්ටත් මාගේ ප්‍රණාමය පුදකරනවා.

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඒකීය ශ්‍රී ලංකාවක් තුළ සියලුම ජාතීන්, ආගම් එක්සේසත් කර ගනිමින් සෞභාග්‍යවත්, ස්වෛරී සොඳුරු මාතෘ භූමියක් නිර්මාණය කිරීමට සිවිල් පුරවැසියකු ලෙස මට ලබාදිය හැකි උපරිම සහයෝගය ඉදිරි කාලයේදී ලබාදෙන බවත්, නව ජනාධිපතිතුමාට මාගේ උණුසුම් සුබ පැතුම් නැවතත් එක්කරමින් මා නිහඬ වනවා.

Post a Comment

0 Comments