තවත් ගෑස් නැවක් අද කොළඹ වරායට

මේ දිනවල වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස තවත් ගෑස් මෙටි‍්‍රක් ටොන් 3600 ක් රැුගත් නැවක් අද (05 දා) කොළඹ වරායට පැමිණෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙටි‍්‍රක් ටොන් 12000 ක් හදිසියේ මිලදී ගැනීමට මුදල් අමාත්‍යාංශය ගත් තීරණයක් අනුව ලිට්‍රෝ ගෑස් සමාගම මෙම ප‍්‍රමාණය ආනයනය කර වෙළෙඳ පොළට වහා නිකුත් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ (තොරතුරු) අලී හසන් මහතා පවසයි.

ගෑස් මෙටි‍්‍රක් ටොන් 3600 ක් රැුගත් නැවක් පසුගිය සෙනසුරාදා (02 දා) වරායට පැමිණීමෙන් පසු ගෑස් බෙදාහැරීමට කටයුතු කර තිබෙන බවත් තවත් මෙටි‍්‍රක් ටොන් 3600 ක් රැුගත් නැවක් ලබන සෙනසුරාදා (9 දා) පැමිණීමට නියමිත බවත් ඒ මහතා පවසයි.

මෙම ගෑස් හිඟය අවස්ථාවක් කරගෙන ගෑස් සඟවාගෙන හා වැඩි මිලට අලෙවි කළ නියෝජිත වෙළෙඳ සල් 40 ක් පමණ පාරිභෝගික අධිකාරිය විසින් වැටලීම් කර ඔවුන්ට එරෙහිව නීති මගින් කටයුතු කර ඇතැයි ද ඒ මහතා පවසයි.