කටවුට්‌ දේශපාලනයේ නිමාව සහ අලුත් යුගයක ඇරඹුම

අද පැවැත්වෙනුයේ මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමයි. මැතිවරණ කොමිසම සඳහන් කරන අයුරින් මෙවර ජනාධිපතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 85% කට ආසන්න වෙනු ඇතැයි විශ්වාස කෙරේ. ඡන්ද ප්‍රතිශතය ඉහළ යැම සුබ ලකුණකි. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය අර්ථාන්විත වන්නේ ඒ සඳහා ජනතාවගේ සක්‍රීය දායකත්වය වැඩිවන තරමටය. ඊට සමගාමීව සාමකාමී වටපිටාවක මෙවර ඡන්ද විමසීමට අවස්‌ථාව උදා කර ගැනීමට ජනතාව දැක්‌වූ උනන්දුව ප්‍රශංසනීය මට්‌ටමක පැවතිය ද අගය කළ යුතුය.
 
 පූර්ව මැතිවරණ සමයේ යම් යම් සිද්ධීන් ඇති වුවද එය සමස්‌ත ඡන්ද ප්‍රතිඵලයට බලපෑම් නොවන මට්‌ටමක පැවතීම විශේෂත්වයකි. එනිසාම අද දවසේදී ද සාමකාමී ඡන්දයකට කැපවී අප රට නැවුම් දිශාවකට හැරවීමේ සුබ මංගල්‍යයට සැමට දායක විය හැකිය.
 
 කාලයක්‌ අප රටේ පැවතියේ කටවුට්‌, බැනර් දේශපාලනයකි. මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනා ඇතුළු සෙසු අපේක්‍ෂකයෝද ඒ සඳහා නොගොස්‌ වෙනත් සන්නිවේදන ක්‍රියාමාර්ග ඔස්‌සේ ජනතාව ඇමැතීම මෑතකාලීන ශ්‍රී ලංකාව දේශපාලනය තුළ මතුව ආ යහපත් ලක්‍ෂණයකි. මෙය තව දුරටත් වර්ධනය කර ගැනීමෙන් අප රට මානව හිමිකම් දංගෙඩියේ ගැටගැසීමට සිටින ජාත්‍යන්තරයට හොඳ පණිවිඩයක්‌ ලබාදීමට පුළුවන.
 
 අද පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමත් කවුරුන් ජයග්‍රහණය කළ ද එය සාමකාමීව භුක්‌ති විඳීමට සියල්ලෝ කැපවිය යුතුය. පූර්ව මැතිවරණ අවදියේදී ප්‍රකට කළ යහපත් ගුණාංග පශ්චාත් මැතිවරණ සමයේදී ආරක්‍ෂා කරගත යුතුව ඇත. පක්‍ෂ පාට වශයෙන් බෙදී ඡන්ද ව්‍යාපාරයේ යෙදුන ද අපි ශ්‍රී ලාංකීය ජාතියක්‌ වශයෙන් මව්බිමේ හෙට දවස යහපත් වනු ඇතැයි අපේක්‍ෂා කරමු.
 
 හෙටින් පසු උදාවන අලුත් පාලන යුගයක ඇරඹුම සමග එහි වගකීම භාර ගන්නා නව නායකත්වයට අප රට ඉහළට ඔසවා තබා ගැනීම සඳහා විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුවනු ඇත. පල්ලම් බැසි ආර්ථිකය ඔසවා තැබීම, ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම, විරැකියාවට සාර්ථක ලෙස විසඳුම් සෙවීම, රටේ ගිලිහී ඇති සංවර්ධන ක්‍රියාවලිය යළි පණගැන්වීම ඇතුළු කාරණා කිහිපයක්‌ සඳහා නව නායකයාට විසඳුම් සෙවීමට සිදුවනු ඇත. එනිසාම මෙවර ජනාධිපතිවරණයට ඇති උනන්දුව සේම ඉන් අනතුරුව රට ගමන් කරන දිශානතිය පිළිබඳව අවදියෙන් සහ වගකීමෙන් ක්‍රියා කිරීමට නව නායකයාට සිදුවනු ඇත. එනිසාම ඔබ පාවිච්චි කරන සෑම ඡන්දයකම වටිනාකම ඉතා ඉහළය. ඔබ පාවිච්චි කරන ඡන්දයෙන් හෙට දවසේ මේ රට යන අත තීරණය කරනු ඇත. එනිසා උදැසනින් ඡන්ද පොළට ගොස්‌ ඔබේ වටිනා ඡන්දය ලබාදී ඒ සද්කාරයට දායක විය හැකිය. අප නැවතත් අවධාරණය කරනු ලබන්නේ ජනාධිපතිවරණයෙන් කවුරු ජයග්‍රහණය කළ ද එය අනෙකා පීඩාවට පත් කිරීමට හේතුවක්‌ කර නොගන්නා ලෙසයි.

Post a Comment

0 Comments