ඩුබායි දේශයේ සැඟවී සිටින අංගොඩ ලොක්කාගේ පාතාල කල්ලියේ ප‍්‍රධාන පෙළේ සාමාජිකයකු බව කියන අනුර සමීර නොහොත් ‘පණුවා’ නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් හෙරොයින් තොගයක් ද සමග ඊයේ (04 දා* සවස මුල්ලේරියාව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මිනීමැරුම්, මහා පරිමාණ කප්පම් ගැනීම් හෙරොයින් ජාවාරම් ඇතුළු අපරාධ රැුසකට සම්බන්ධ මෙම පාතාල ප‍්‍රබලයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රුපියල් ලක්‍ෂ ගණනක හෙරොයින් ඔහු සතුව තිබූ බව විශේෂ කාර්ය බළකාය පවසයි.
ඩුබායිිහි සැඟව සිටින අංගොඩ ලොක්කාගේ නියෝග මත රණාල, කඩුවෙල, අතුරුගිරිය, අංගොඩ ඇතුළු ප‍්‍රදේශ රැසක ව්‍යාපාරිකයින්, ධනවතුන් බිය ගන්වා ඔවුන්ගෙන් මාසිකව රුපියල් ලක්ෂ ගණනින් කප්පම් මුදල් එකතුකර ඇත්තේ ‘පණුවා’ නමැති මෙම පාතාල ප‍්‍රබලයා බව හෙළිවී ඇත.
රණාල ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රධාන පෙළේ පැණි බීම නිෂ්පාදන සමාගමකින් මෙම පාතාල ප‍්‍රබලයා මාසිකව රුපියල් ලක්ෂ ගණන් කප්පම් ලබාගෙන ඇතැයිද හෙළි වී ඇත.
මෙම පාතාල ප‍්‍රබලයාට එරෙහිව මිනී මැරුම් 02 ක් මහ පරිමාණ කප්පම් ලබාගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් නඩු 06 ක් සහ හෙරොයින් ජාවාරම් සම්බන්ධ නඩු ගණනාවක් අධිකරණවල ඇති බවද විශේෂ කාර්ය බළකාය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි එම්. ආර්. ලතීෆ් සහ නියෝජ්‍ය අණ දෙන නිලධාරි ලයනල් ගුණතිලක මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක‍්‍රියාත්මක මෙහෙයුමකදී මෙම පාතාල ප‍්‍රබලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මුල්ලේරියාව ප‍්‍රදේශයේ නිවසක සැඟව සිටියදීය.
සැකකරු විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ රඳවාගෙන දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරගෙන යන බව එහි නිලධාරියෙක් පැවසීය.