ජනාධිපතිවරණය නිම වන තෙක් මිලේනියම් ගිවිසුම අත්සන් කරන්නේ නෑ

අත්සන් කිරීමට නියමිතව ඇති මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ඉදිරි ජනාධිපතිවරණය නිමවන තෙක් අත්සන් නොකිරීමට රජය තීරණය කර ඇතැයි ඇමැති පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

කොළඹ පදනම් ආයතනයේදී ඊයේ (05 දා* පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගෙන ඇති බවත් පැවසූ ඇමැතිවරයා මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබීමෙන් පසු පාර්ලිමේන්තුවේ සාකච්ඡුා කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය.

මෙම ගිවිසුම කඩිමුඩියේ අත්සන් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් රජයට නොමැති බවත් පැවසූ ඇමැතිවරයා එහි අඩංගු කරුණු ජනතාවට නිරීක්ෂණය කිරීමේ අවස්ථාව සලසා දී ඇති බවත් සඳහන් කළේය.

පොහොට්ටුවේ පිරිස් පවසන පරිදි ඇමෙරිකානු සෙබළු ගොඩබස්සන කරුණු මෙහි නැතැයි ද ඇමෙරිකාවට ඉඩම් ලබාදීමක් වෙනුවට ජනතාවගේ මාර්ග පද්ධතිය දියුණුවෙන, රටේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් සඳහා මෙම මුදල් යොදවන බවද ඔහු කියා සිටියේය.

අදාළ ගිවිසුමෙන් රටේ කොතනකවත් වැටවල් ගැහිල්ලක් කිසිවකුට ඉඩම් බෙදිල්ලක් සිදු නොවන බවත් ඉදිරි කාලයේ සංවර්ධන කටයුතු සඳහා රටේ සියලූ ආයතනවල මාර්ගෝපදේශයක් ඇති කිරීම මෙහි මූලික අරමුණ බවත් ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments