ජනපතිවරණ සමඟ කරළියට එන ජ්‍යෙතීර්වේදීන්ගේ මතවාද

අපේ රටේ ජනපතිවරණයක් හෝ මහමැතිවරණයක් පැවැත්වෙන සෑම අවස්ථාවකම පෙරහැරේ කස කාරයන් මෙන් මුලින්ම එළියට එන්නේ ජ්‍යෝතීර්වේදින්ය. බොහෝ අවස්ථාවල එක් එක් අපේක්ෂකයන් දිනන බව ජ්‍යොතීර්වේදීන් පවසන්නේ එකිනෙකට වෙනස් පක්ෂ හෝ පුද්ගලයන්ය. හැමවිටම කිසියම් එක් අපේක්ෂකයෙක්ගේ ජයග‍්‍රහණ්‍ය වෙනුවෙන් ජ්‍යෝතිර්වේදීහු කීපදෙනෙක් සිටිති.
විසිඑක්වෙනි ශතවර්ෂය ගැන කතා කරන යුගයේ තාක්ෂණයේ විද්‍යාවේ දියුණුව ගැන කතා කරන, එහෙත් තවමත් අනෙකුත් රටවල් අත්පත් කරගෙන තිබෙන ජයග‍්‍රහණයන්ට ළ`ගා වී නැති ලංකාව වැනි රටක ජනතාව විද්‍යාව, තාක්ෂණය කෙරෙහි යොමු වෙනවාට වඩා අවිද්‍යාවට ළංවීම  පාලකයන්ටද මහත් පහසුවකි. ජනතාව අවිද්‍යාවෙන් මුදවා ගන්නට වෙරදැරිය යුතු ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කළ යුතු වූ පාලකයින්ද අවිද්‍යාවම වපුරන්නේ නම්, අවිද්‍යාවෙහි ඇලී ගැලී සිටින්නේ නම් එවන් රටක අනාගතය ගැන තැබිය හැක්කේ කෙබඳු බලාපොරොත්තුවක්ද?
මිනිසා බිහිවු මුල් කාලයේදී දවාලට ඉරපායන්නේ ඇයි රෑට හඳ පායන්නේ? ඇයි වැස්ස වහින්නේ ඇයි? විදුලි කොටන්නේ ඇයි? ආදී කිසිම දෙයක් තේරුම් ගැනීමට නොහැකි විය. තමන්ට තේරුම් ගන්න බැරි දේවල්වලට ඔවුහු දේවත්වයක් හා යක්ෂාවේෂ්‍යක් ආරූඨ කරගත්හ.
එහෙත් මිනිසා එක තැන සිටියේ නැත. ඔහු තමන් දකින හැමදේකටම හේතු සොයන්නට විය. තමන්ගේ ප‍්‍රශ්නවලට විසඳුම් සොයන්නට විය. ඒ සෙවීමේ ප‍්‍රතිඵළ ලෙස මිනිසා කිසිවෙකුගේ මැවීමක් නොවන බව සොයාගත්තේය. හඳ දෙවියකු නොවන බව සොයාගත්තා පමණක් නොව සඳ තරණයටද මිනිසා සමත්විය. තමන්ට බලපෑම් කරන බවට විශ්වාස කරන තාරකා මණ්ඩල ග‍්‍රහ වස්තු හැදෙන්නේ කෙසේදැයි සොයා ගත්තේය. ඒවායේ හැසිරිම් හා හැසිරීම්වල විවිධත්වයට හේතු සොයාගත්තේය. ඒ කිසිවක් තවමත් අවසන් නැති අතර තවදුරටත් ඒ සියල්ල පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණ ලෝකය පුරා විද්‍යාඥයෝ කරති. ආලෝක වර්ෂ ගණනාවක් දුරින් සිටින ගහ වස්තුවකට අපේ පෘථිවියට හා එහි ජීවත් වන මිනිසුන්ට පොදුවේ බලපෑමක් කළ හැකි නමුත් අපේ දෛවයට පෞද්ගලිකව කළ හැකි බලපෑමක් නොවන බව විද්‍යාව සොයා ගත්තේය. කිසිවක් අලුතෙන් මැවීමට හෝ සම්පූර්ණයෙන්ම මේ ලෝකයෙන් තුරන් කිරීමට නොහැකි බවද කළ හැක්කේ එක් ද්‍රව්‍යයක් තවත් ද්‍රව්‍යයක් බවට පත් කිරීම පමණක් බවද විද්‍යාව සොයා ගත්තේය.
අද මිනිසා උත්සාහ කරන්නේ සඳ තරණයට නොව, තවත් ග‍්‍රහලෝක වෙත ගමන් කිරිමටය. ඒවායේ ජීවයේ පැවැත්ම සොයා ගැනීමටය. පෘථිවිය හැර ජීවත් විමට හැකි තවත් ග‍්‍රහලෝකයක් සොයා ගැනීමටය. න්‍යෂ්ටික බිඳහෙලීම තවදුරටත් කුඩා කුඩා කොටස්වලට කරන්නේ කෙසේදැයි සොයා ගැනීමටය. එය තමන්ගේ පැවැත්ම වෙනුවෙන් යොදාගන්නේ කෙසේදැයි සොයා ගැනීමටය. ඉරහඳ තාරකා ජයගත් එවන් යුගයක ජිවත් වන අප සමාජය තවමත් තාරකා මණ්ඩලවල හා ග‍්‍රහවස්තවල චලිතයෙන් ජනාධිපති අපේක්ෂකයන්ගේ ඉරණම තීන්දු කරන බවට විශ්වාස කරති. ඒ අනුව දිනන පැත්ත බලා ඡන්දය දෙන්නට ඇතැමෙක් බලා සිටිති. අප සමාජයේ තවමත් පවතින අන්ධ විශ්වාසයන් තුළ ජනතාව ගිල්වා තබනු වස් බොහෝ අපේක්ෂකයෝද එම නක්ෂත‍්‍රයන්ට අනුවම හැසිරෙන්නට උත්සාහ කරති.
2015 ජනපතිවරණයේදි එක්තරා ජ්‍යෝතිර්වේදියකු රටට ප‍්‍රකාශ කර සිටියේ එවකට එක්සත් ජනතා නිදහස් සන්ධායනයේ අපේක්ෂකයා වු මහින්ද රාජපක්ෂ මහතා දිනන බවය. ඒ මතය කෙතෙක් සමාජයේ තහවුරු වූයේද යත් ඔහු වටා සිටි සියලූ දෙනා සිටියේ මැතිවරණයටත් පෙර ජයග‍්‍රහණය ලබාගෙනය. ඇතැමෙකු කියා සිටියේ මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය කරන බවය. ඒ මතය ඉදිරිපත් කළ ජ්‍යොතීර්වේදියා වටා ඉන්පසු සමාජය පෙළ ගැසෙන්නට විය. වැරදි මතය ඉදිරිපත් කළ පුද්ගලයාට සමාජයේ ගැරහුමට පවා ලක්වන්නට සිදුවිය.
අදත් ජනපතිවරණ සටනක් රටේ තිබේ. මේ ජනපතිවරණ සටන අතරේ පෙර තරමටම නැති වුවත් ජ්‍යෝතිර්වේදීහු කිපදෙනෙක් තම තමන්ගේ මත රට හමුවේ තබන්නට උත්සාහ කරමින් සිටිති.
ජනපතිවරණයක් ගැන වසරක පමණ කාලයක සිට අපේ රටේ කතාබහට ලක්විය. ඒ කාලය තුළ එක්තරා ජ්‍යෝතීර්වේදියෙකු කියා සිටියේ 2020 ජනාධිපති බැසිල් රාජපක්ෂ මහතා බවය. ඔහු පසුගිය මහමැතිවරණ සමයේ කියා සිටියේ රාජපක්ෂලාගේ පවුලේ කෙනෙකුට නෙවෙයි ඒ වලව්වේ බල්ලෙකුවත් නැවත අරලියගහ මන්දිරයට එන්නට නොහැකි බවය. එයින් ඔහු අදහස් කළේ අගමැති වීමට නොහැකි බවය. එහෙත් කා අතරත් දින පනස් දෙකේ ආණ්ඩුව යැයි සුප‍්‍රකට ආණ්ඩු සමයේ නැවත මහින්ද රාජපක්ෂ මහතා මෙරට අගමැති විය. බැසිල් රාජපක්ෂ මහතා ජනපති වන බව පැවසූ ඒ ජ්‍යෝතිර්වේදියා දැන් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති වන බවය. එහිදි ඔහු තමන් කලින් පැවසූ දේ බොරුවීම වළක්වා ගනු වස් කියා සිටින්නේ ගෝඨාභ්‍ය රාජපක්ෂ මහතා ජනපති වන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ රාජයෝගයේ බලපෑමෙන් බවය.තවත් ජ්‍යොතිර්වේදියෙකු පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ප‍්‍රබල රාජයෝගයක් ඇති බවය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති වන බව පවසන පිරිස වගේම සජිත් පේ‍්‍රමදාස මහතා දිනන බව පවසන ජ්‍යෝතීර්වේදීහු පිරිසක්ද වෙති. ඔවුන්ගෙන් ඇතැමෙක්ට අනුව සජිත් මහතාට ප‍්‍රබල රාජයෝගයක් ඇත. ඇතැමෙකුට අනුව සජිත් මහතා දිනන්නේ ජලනි පේ‍්‍රමදාස මහත්මියගේ ග‍්‍රහ බලපෑමේ ආනුභාවයෙනි. ඔහු තවදුරටත් කියන්නේ රණසිංහ පේ‍්‍රමදාස මහතා ජයග‍්‍රහණය කළේද හේමා පේ‍්‍රමදාස මහත්මියගේ රාජයෝගයේ මහිමයෙන් බවය. මේ අතර තවත් කෙනෙක් කියන්නේ සජිත් මහතාගේ සතර කේන්දරය පාලුබවය.
ගෝඨාභය මහතා දිනන බව කියන එක්තරා ජ්‍යොතිර්වේදියෙකු අනුර කුමාර දිසානායක මහතාගේ ග‍්‍රහ පිහිටීම ගැනද කතා කළේය. දිසානායක මහතාට කිසිසේත්ම ජයග‍්‍රහණ්‍ය කළ නොහැකිය. එවැනි රාජයෝගයක් ඔහුට නැත. එහෙත් ඔහුට වැඩි බලයක්මෙවර ඡන්දයෙන් හිමිවේ. ඔහු ජනාධිපති අපේක්ෂකයා ලෙස නම්කළ වේලාව තව විනාඩි 25ක් කලින්වූයේ නම් ඔහුට මේ මැතිවරණයෙන් දැන් ලැබෙන්නට නියමිත ඡන්ද ප‍්‍රමාණයටත් වඩා වැඩි ඡන්ද ප‍්‍රමාණයක් ලබාගැනීමට ඉඩක් ඇති කරන්නේය. එහෙත් ඔහුට මෙවර ඡන්දය පාඩුවක් වන්නේ නැත. ඔහුගේපක්ෂයට දීර්ඝ ගමනක් ඇත. 2030 වන විට මෙරට පාලක පක්ෂය හෝ ප‍්‍රධාන විපක්ෂය වීමේ හැකියාව මේ වෙලාව අනුවත් ඔහුගේ ග‍්‍රහ පිහිටීම අනුවත් පෙන්නුම් කරන්නේය යනුවෙන් මේ ජ්‍යෝතිර්වේදියා බරපතල හෙළිදරව්වක් ආකාරයෙන් කියා සිටි.
අනුර කුමාර දිසානායක මහතාට මෙවර මැතිවරණයෙන් ජනාධිපති වීමට තිබෙන ඉඩකඩ, එසේම එම ව්‍යාපාරයට අනාගතයේ ලැබෙන සමාජ පිළිගැනීම සම්බන්ධයෙන් සාමාන්‍ය දැනීම ඇති කාටත් මේ ජ්‍යෝතීර්වේදියාගේ අනාවැකිය කියන්නට ජ්‍යෝතීෂය අවශ්‍ය නැත.
සත්‍යය යනු කුමක්ද? ලෝකයේ සත්‍යයන් දෙකක් පැවතිය හැකිද? ලෝකයේ පවතින්නේ විද්‍යාත්මක සත්‍යයයන් පමණක්ද? නැත්නම් ජ්‍යෝතීර්වේදය මතද?
ජ්‍යෝතීර්වේදින් පවසන පරිදි ජ්‍යෝතිෂය විද්‍යාවක් නම් එය එක එක්කෙනාට අනුව වෙනස්වන නිගමන ඉදිරිපත් වන්නක් නොවිය යුතුය. විද්‍යාවේ ඒ ඒ කාල වකවානුවල දියුණුවේ ප‍්‍රමාණය අනුව කිසිවක් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන මතය ඒදාට අනුව සත්‍යය වේ. ද්‍රව්‍යය ගොඩනැගී තිබෙන්නේ කුඩා කුඩා අංශුවලින් යන්න එක් යුගයකදී පැවති කවුරුත් පිළිගත් විදාත්මක සත්‍යය විය. ඉන්පසු ද්‍රව්‍යය බිඳියව හැකි කුඩාම ඒකකය පරමාණුව බවට සොයාගත්තේය. ඉන්පසු එයද ඉලෙක්ට්‍රෝන, පෝට්‍රෝන හා නියුට්‍රෝන ලෙස උපපරමාණුක අංශු ලෙස කැඩිය හැකි බව පසුව සොයාගත්තේය.  සොයා ගැනීමේ කෙළවර පරමාණුවේ න්‍යෂ්ටියේ ක‍්‍රියාකාරිත්වය භාවිතා කරමින් න්‍යෂ්ටික නිපදවීම දක්වා විද්‍යාව ගමන් කළේය. මේ ආකාරයට එක් එක් යුගවලදී විද්‍යාවට අනුව කවුරුත් පිළිගත් සත්‍යයක් විය.
එහෙත් ජ්‍යොතීර්වේදීන්ට අනුව එකම පුද්ගලයාගේ ග‍්‍රහ පිහිටීම වෙනස් ලෙස පෙනේ. ඒ ග‍්‍රහ පිහිටීම අනුව එකම පුද්ගලයාට අනුව රාජයෝග ඵිහිටිම වෙනස් වේ. ජ්‍යෝතිෂය විද්‍යාවක් නම් එසේ විය හැකිද? එය සත්‍යයක් නම් කොයි ජ්‍යෝතිර්වේදියාත් තමන් ඉගෙන ගත් ශාස්ත‍්‍රය අනුව එකම පුද්ගලයෙක්ගේ ඉරණම දැක්විය යුත්තේ එකම ලෙසටය. එහෙත් අපි එවැන්නක් ජ්‍යොතීර්වේදය තුළ දකින්නේ නැත. ඔවුන් ග‍්‍රහ පිහිටීම මත පිහිටා යැයි දක්වමින් පෙන්වා දෙන්නේ එක්කෝ සාමාන්‍ය සමාජ අවබෝධයට අනුව කාටත් පැවසිය හැකි සත්‍යයය. එසේත් නැත්නම් තමන් කැමති කෙනා ජයග‍්‍රහණය කරවීමේ අරමුණ වෙනුවෙන් ඔහු ජයගැන සමාජයේ මතයක් පැල කිරීමේ අරමුණ ඇතිව දක්වන අදහසකි.
මේ සම්බන්ධයෙන් ශ‍්‍රි ලංකා හේතුවාදීන්ගේ සංගමයේ ලේකම් තාරක වරාපිටිය මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.
ජ්‍යෝතිෂය අනුව යම් යම් අපේක්ෂකයින්ගේ ග‍්‍රහ පිහිටිම අනුව ඔවුන් ජයගන්නවාද නැද්ද යන්න දැක්විමට තම තමන්ගේ කැමැත්ත අනුව ජ්‍යෝතීර්වේදීන් කටයුතු කරනවා. ඒ කියන බොහෝ දේවල් සාමාන්‍ය සමාජ අවබෝධය අනුව අපි කාටත් කියන්න පුලූවන් දේවල්. ජ්‍යෝතිෂය සත්‍යයයක් නම් අනුමාන ලෙස අහවලා දිනනවා යන්න ප‍්‍රකාශ කරනවා වෙනුවට ඔවුන් ගන්නා ඡන්ද ප‍්‍රමාණය අවම වශයෙන් ආසන්න දහදාහටවත් දැක්වීමට හැකිවිය යුතුයි. ඒත් ඔවුන් එහෙම කියන්නේ නැහැ. තමන්ගේ මතය පරාජයට පත් වුවහොත් ඔවුන්ට කියන්න තවත් දෙයක් තිබේ. ඒ ඔහුට රාජයෝගයක් තිබුණත් ඔහුගේ බිරිඳට, නැත්නම් මවට, මාමාට හෝ තවත් කාට හෝ පවතින ප‍්‍රබල කාරකයක් ඒ රාජයෝගයට බාධා කර ඇති බවය. කිතුලට නැග්ග කෙනාටත් කියන්න දෙයක් තිබෙනවා සේ ඔවුන්ද කුමක් හෝ පටලවා ගෙන ගොඩ යනවා.
නාසා ආයතනයේ වසර ගණනාවක් සේවය කළ ආචාර්ය කාවන් රත්නතුංග මහතා මෙහි විද්‍යාත්මක පැහැදිලි කිරිම කළේ මේ ආකාරයෙනි.
ජ්‍යොතිෂ්‍ය පදනම් වෙලා තියෙන්නේ පෘථිවිය කේන්ද්‍රීයවයි. ඒ වගේම එය පැතලි එකක් ලෙස ගනිමින් තමයි එය සකස් වෙලා තියෙන්නේ. ජ්‍යෝතිෂය අනුව පෘථිවියේ ඉපදෙන කෙනෙක් සම්බන්ධයෙන් මිස යම් හෙයකින් වෙනත් ග‍්‍රහලෝකයක කෙනෙක් ඉපදුනහොත් එම පුද්ගලයාගේ ඉරණම දැක්විය නොහැකියි.
ඔවුන් යම් යම් පුද්ගලයන්ගේ ඉරණම කියන්නට පදනම් කරගන්නේ තරු සහ ග‍්‍රහ වස්තු කීපයක චලිතයයි. සිකුරු, අගහරු, සෙනසුරු, බ‍්‍රහස්පති, බුද, සහ හිරු සහ සඳුගේ චලිතය එලෙස භාවිතා කරනවා. මිනිසා මුල්ම කාලයේ සොයාගත් ග‍්‍රහලෝක කීපයක් හා තාරකා පද්ධති තමයි ඔවුන් තාමත් භාවිතාකරන්නේ. එදා මිනිසුන් දුටුවේ විශ්වාස කළේ ඉරහඳ හා ග‍්‍රහ වස්තු තාරකා මණ්ඩල පිළිගු ගෝලයක් මත චලනය වන බවයි. ඒත් අපේ සෞරග‍්‍රහ මණ්ඩලයේ තවත් ග‍්‍රහලෝක රැසක් තිබෙන බවට පසුකාලීනව සොයාගෙන තිබෙනවා. ඒ වාගේම අලූත් අලූත් තාරකා පද්ධති හඳුනාගෙන තිබෙනවා. ඒ කිසිවක් මේ ජ්‍යෝතිෂයට පදනම් වන්නේ නැහැ. මිනිසා මේ දේවල් තමන්ගේ ඉරණම තින්දු කරන දේවල් ලෙස දැක්කේ විද්‍යාවක් නොතිබූ මිනිසාගේ ප‍්‍රාථමිකම අවධියේදීයි. එදා පරිසරයේ සිදුවන වෙනස්කම් තේරුම් ගත නොහැකිව ඒවා සිදුවන්නේ කෙසේ දැයි පරිසර පද්ධති ඇසුරෙන් ඒවාට දේවත්වයක් ආරුඨ කරගනිමින් තේරුම්ගැනීමට යාම නිසා තමයි මෙවැනි විශ්වාස ගොඩනැගුනේ. ඒත් අද විද්‍යාව ඊට වඩා සිය දහස් ගුණයකින්  ඉස්සරහට ඇවිත්. ඒත් අපි තාමත් තාරකා මත ඉරණම තීරණය කරමින් සිටීම කණගාටුවට කරුණක්.   

Post a Comment

0 Comments