සජිත් එජාප නියෝජ්‍ය නායක ධුරය අත්හරී


-ඉදිරි සතියේ දේශපාලන අනාගතය මෙනෙහි කරනවා නිවේදනයක් නිකුත් කරමින් කියයි
 
 ඡන්ද දායකයින් ගනු ලැබූ තීරණයට ගරු කරමින් තමන් එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වන බවත් නව ජනාධිපතිවරයා ලෙස පවත්වන  ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සුබ පතන බවත් ජනාධිපති අපේක්‍ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියි.
 
 ඊට අමතරව සිය දේශපාලන ජීවිතයේ අනාගත ගමන් මග සහ ජීවිතය මෙතැන් සිට ගෙනයන්නේ කොතැනට ද යන්න ගැනද ඉදිරි සතිය තුළ මෙනෙහි කරන බව හෙතෙම සඳහන් කර සිටියි.
 
 සජිත් ප්‍රේමදාස මහතා මේ බැව් සඳහන් කළේ ඊයේ (17 දා) පෙරවරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.
 
 සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කරන ලද එම විශේෂ නිවේදනය මෙසේය.
 
 දැඩි සටනක හා උද්යෝගිමත් මැතිවරණ ව්‍යාපාරයක් අවසානයේදී, ජනතාවගේ තීරණයට ගරු කරමින් ශ්‍රී ලංකාවේ සත්වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව ගෝඨාභය රාජපක්‍ෂ මහතා හට මම සුභ පතමි.
 
 දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ මා වෙත ඡන්දය ප්‍රකාශ කළ අප පුරවැසියන්ට මාගේ හෘදයාංගම කෘතඥතාව පළ කරන අතරම ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳව මම නිහතමානී සතුටක් ලබමි. විසි හය අවුරුද්දක මගේ දේශපාලන ජීවිතය තුළ ඔබේ සහයෝගය ශක්තියේ උල්පතක් වී තිබේ. මාගේ දේශපාලන ව්‍යාපාරය තුළ වෙහෙස නොබලා වැඩ කළ සියලු දෙනාටම මාගේ කෘතඥතාව සටහන් කර තැබීමට මම කැමැත්තෙමි. ඔබගේ කැපවීම මා හා මාගේ පවුලේ අයට කිසිදා අමතක නොවනු ඇත.
 
 අපේ ස්වාධීන ජනරජයේ ඉතිහාසයේ වඩාත්ම සාමකාමී ජනාධිපතිවරණය අපි මෙයින් දුටුවෙමු. මෙය පසුගිය වසර පහ තුළ සිදුවී ඇති ප්‍රජාතන්ත්‍රවාදී සහ ආයතනික ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් වන අතර එය ස්වාධීන මැතිවරණ කොමිසමක් විසින් බල ගැන්වූ නීතියේ ආධිපත්‍යය යථා තත්ත්වයට පත් කළ මැතිවරණයක් විය.
 
 බලයට පැමිණෙන ජනාධිපතිවරයා ගෙන් මා සිදුකරන ආයාචනය නම් මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන ගොස් ශ්‍රී ලංකාවේ 7 වන ජනාධිපතිවරයා ලෙස සාමකාමීව තේරී පත්වීමට හැකි වූ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන හා සාරධර්ම ශක්තිමත් කර ආරක්‍ෂා කිරීමයි.
 
 පශ්චාත් මැතිවරණ පරිසරයේ සාමකාමී බව සහතික කරන ලෙසත්, මගේ අපේක්‍ෂකත්වයට සහාය දැක්වීමේ කාර්යභාරය නිසා කිසිදු පුරවැසියකුට හෝ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්‍ෂ ආධාරකරුවෙකුට හිංසා පීඩා හෝ හානියක් සිදු නොකරන ලෙසත් මම රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටිමි.
 
 වසර 26 ක් පුරා මම මේ රටේ ක්‍රියාකාරී දේශපාලනධරයකු වශයෙන් ක්‍රියා කළෙමි. එම කාලය තුළ මා උපන් දිස්ත්‍රික්කය වන හම්බන්තොට සහ මගේ සහාය අවශ්‍ය ඕනෑම ස්ථානයක සහ ඕනෑම වේලාවක ජනතාවට සේවය කිරීමට මම සෑම උත්සාහයක්ම ගත්තෙමි. 2025 වන විට නිවාස හිමිකාරීත්වයෙන් යුත් සමාජයක් බිහි කිරීමට ප්‍රමුඛත්වය දෙමින් වසර පහක් මෙම රජයේ නිවාස අමාත්‍ය ධුරයේ සේවය කිරීමට ලැබීම මා ලැබූ භාග්‍යයක් සේ සලකමි. එය මගේ සෙසු පුරවැසියන්ගේ ජීවිත නඟාසිටුවීමට අවංක, හෘදයාංගම උත්සාහයක් බව ජනතාව තේරුම් ගනී යැයි මම බලාපොරොත්තු වෙමි.
 
 අද දින ඡන්දදායකයින් ගනු ලබන තීරණයට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පක්‍ෂයේ නියොජ්‍ය නායක ධුරයෙන් ඉවත් වීමට මම තීරණය කර ඇත්තෙමි.
 
 ඉදිරි සතිය තුළ මගේ ජනාධිපති අපේක්‍ෂාවට සහාය ලබා දුන් සියලු දෙනා, මගේ දේශපාලන ගමන තුළින් මා වෙනුවෙන් පෙනී සිටි ජනතාව සහ මගේ ආදරණීයයන් සමඟ සාකච්ඡා කර මගේ දේශපාලන ජීවිතයේ අනාගතය සහ මගේ ජීවිතය මෙතැන් සිට මා ගෙන යන්නේ කොතැනද යන්න ගැන මෙනෙහි කරමි. ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ බැඳී සිටින මම අදත් සෑම විටම ඔවුන්ගේ විශ්වාසවන්ත සේවකයා ලෙස කටයුතු කරමි.

Post a Comment

0 Comments