නිහඬ කාලයේ මැතිවරණ ප්‍රචාරණ ගැන කොමසාරිස්ට පැමිණිලි

මැතිවරණ නිහඬ කාලය තුළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල නිරතවන සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මැතිවරණ කොමසාරිස්වරයාට ලිපියක් යවා ඇත.
 
 එම ලිපියේ මෙසේද සඳහන් වේ.
 
 මැතිවරණ නිහඬ කාලය ආරම්භ වී කෙටි කාලයක් යන්නට පෙර එක්තරා වෙබ් ලිපිනයක් යටතේ ක්‍රියාත්මක වන ෆේස්බුක් සමාජ මාධ්‍ය පිටුවක් විසින් එක්තරා ජනාධිපතිවරණ අපේක්ෂකයකුගේ ප්‍රචාරණ ගීතයක් එම සමාජ මාධ්‍ය පිටුව වෙත එක්කොට ඇත. එම පිටුව අනුකරණය කරමින් අනෙකුත් සමාජ මාධ්‍ය පිටු මැතිවරණ නිහඬ කාලය පුරා මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකිරීමට හැකියාවක් පවතී. ඊට අමතරව සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් යැයි හඳුන්වාගන්නා පිරිස් හා කණ්ඩායම්ද මේ වනවිට මැතිවරණ නිහඬ කාලය තුළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල නිරතවන ආකාරයක් දැක ගත හැකිය. මේ පිළිබඳව මැතිවරණ කොමිසමේ අවධානය වහාම යොමුකොට එම සමාජ මාධ්‍ය පිටුව සම්බන්ධයෙන් හා අනෙකුත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිළිබඳව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස අපි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් මැතිවරණ කොමිසමට දැනුම් දෙමු.

Post a Comment

0 Comments