මගේ ප්‍රතිපත්ති දිනවීමට කටයුතු කළ සැමට ස්තූතියි - සජිත් ප්‍රේමදාස



තම ප්‍රතිපත්ති දිනවීමට කටයුතු කළ සැමට ස්තුතිය පළ කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේන් ජනාධිපතිවරණයට තරග කළ සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. හෙතෙම මේ බැව් පැවසූයේ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැති ජනාධිපතිවරණ ප්‍රතිඵල අවසන් දැනුම් දීමෙන් පසු සිය අදහස් දක්වමිනි. එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
 
 ප්‍රථමයෙන් පැවැති ජනාධිපතිවරණයෙන් මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත්වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අපගේ සුබ පැතුම් එක්කරනවා.
 
 ශ්‍රී ලංකාවාසී ජන ප්‍රජාවට ද මාගේ ස්තූතිය සහ ගෞරවය මා මේ අවස්ථාවේ පුද කරනවා. පුරා වසර 25 ක් මුළුල්ලේ මගේ දේශපාලන ජීවිතයේ ප්‍රධානතම අරමුණ වූයේ අප මාතෘ භූමියට සේවය කිරීමයි.
 
 අප පිළිගත් ප්‍රතිපත්ති ජයග්‍රහණය කරවීමට දිවා රෑ නොබලා කටයුතු කළ සියලු දෙනාට මා නැවතත් මාගේ ස්තූතිය සහ ප්‍රණාමය පුද කරනවා.
 
 පසුගිය වසර පහ පුරා අප ස්ථාපනය කළ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවත්, ආයතනික ප්‍රතිසංස්කරණ සහ ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙස අතිශයින්ම නිදහස් හා සාමකාමී මැතිවරණයක් භුක්ති විඳීමට සියලු දෙනාටම පුළුවන්කම ලැබුණා.
 
 තවදුරටත් මේ නිදහසේ ස්වාධීනත්වයේ ශක්ති සම්පන්නභාවය තහවුරු කරමින් එම ආයතනවල ක්‍රියාදාමයන් ශක්තිමත් කිරීමට කටයුතු කරන ලෙස යෝජනා කරනවා.
 
 මේ මැතිවරණ ව්‍යාපාරයට සහභාගි වුණු සියලුම දේශපාලන පක්‍ෂවල සාමාජික සාමාජිකාවන්ට සාමකාමී පරිසරයක් තුළ කිසිදු හිරිහැරයක් නොවන ආකාරයට කටයුතු කිරීමට අවශ්‍ය ක්‍රමවේදය ක්‍රියාත්මක කරන ලෙස මා ඉල්ලා සිටිනවා.
 
 නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ මැතිවරණ කොමිසමේ සභාපතිතුමාටත්, එහි සාමාජිකයන්ටත්, සියලුම නිලධාරීන්ටත් මාගේ ප්‍රණාමය පුදකරනවා.
 
 අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඒකීය ශ්‍රී ලංකාවක් තුළ සියලුම ජාතීන්, ආගම් එක්සේසත් කර ගනිමින් සෞභාග්‍යවත්, ස්වෛරී සොඳුරු මාතෘ භූමියක් නිර්මාණය කිරීමට සිවිල් පුරවැසියකු ලෙස මට ලබාදිය හැකි උපරිම සහයෝගය ඉදිරි කාලයේදී ලබාදෙන බවත්, නව ජනාධිපතිතුමාට මාගේ උණුසුම් සුබ පැතුම් නැවතත් එක්කරමින් මා නිහඬ වනවා.

Post a Comment

0 Comments