අයිතීන් දිනා ගන්න එකම විසඳුම සජිත් විතරයි මෙවර ජනාධිපති තීරණය වෙන්නේ දෙමළ ජනතාවගේ ඡන්දවලින් ආර්. සම්බන්ධන් පළමු රැස්වීමේදී කියයි

දෙමළ ජාතික සන්ධානය සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය ලබා දෙන බව නිවේදනය කිරීමෙන් පසුව එම පක්ෂයේ නායක ආර්.සම්බන්ධන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් වූ පළමු දේශපාලන රැුස්වීම 9 වැනිදා වවුනියාව නගර සභා ශාලාවේදී පැවැත්වුණි.

මෙහිදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කෙරුණු අතර සම්බන්ධන් මහතා කියා සිටියේ වගකිවයුතු පක්ෂයක් වශයෙන් දෙමළ ජාතික සන්ධානයට මැතිවරණය වර්ජනය කරන ලෙස කිසිම ආකාරයකින් දැනුම් දීමක් කළ නොහැකි බවයි.

මෙවර ජනාධිපතිවරණය ඉතාමත් තීරණාත්මක වන බැවින් ‍ජනාධිපතිවරණය වර්ජනය කිරීමට දෙමළ ජනතාවට හැකියාවක් නොමැති බව කී සම්බන්ධන් මහතා දෙමළ ජනතාවගේ ජන්දය මත ජනාධිපතිවරයා තීරණය වන තීරණාත්මක අවස්ථාවක් උදාවී ඇති බව ද සඳහන් කළේය.

දෙමළ ජනතාව 2005 වසරේ ජන්දය වර්ජනය කිරීම හේතුවෙන් දෙමළ ජනතාවට මුහුණ දීමට සිදුවූයේ දුක් කරදරවලට බවත් ඒ ගැන දෙමළ ජනතාවට නැවත මතක් කිරීමට අවශ්‍ය නොමැති බවත් ඔහු කීවේය. මෙවර ජනාධිපතිවරණය 2005 මැතිවරණයට වඩා තීරණාත්මක වන බව හෙතෙම පැවසුවේය.

සම්බන්ධන් මහතා වැඩිදුරටත් පැවසුවේ දෙමළ ජනතාවගේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවට ඇති එකම විසඳුම සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිකරවීම පමණක් වන බවයි.

එබැවින් සියලූ දෙමළ ජනතාව එක්වී සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති ලෙසට පත් කිරීම උදෙසා ජන්දය භාවිතා කළ යුතු බවත්, ඒ හරහා දෙමළ ජනතාවගේ ගැටලූ විසඳා ගැනීමට හැකිවන බවත් වැඩසටහන් අවස්ථාවේදී ඔහු පැවසුවේය.

එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන එම්.ඒ.සුමන්තිරන් මහතා, එස්.ශිවමෝහන් මහතා, චාර්ල්ස් නිර්මලනාදන් මහතා, ශාන්ති ස්කන්ධරාජා මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Post a Comment

0 Comments