රෝයල් පාර්ක් විත්තිකරුට ජනපති සමාව දෙන්නැයි කිසිම ආයාචනයක් කළේ නෑ..... ගාලූ රදගුරුගෙන් නිවේදනයක්

රෝයල් පාර්ක් මිනී මැරුමට සම්බන්ධ චූදිතයා වන ජූඞ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහ හට ජනාධිපති සමාව පිරිනමන ලෙස තමා කිසිදු ආයාචනයක් නොකළ බවට ගාලූ පදවිය රදගුරු රේමන් වික‍්‍රමසිංහ පියතුමා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරති.
 
 එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
 
 ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සඳහන් රෝයල් පාර්ක් මිනී මැරුම සම්බන්ධව ඊට අදාළ චූදිතයා වන ජූඞ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහ හට ලබාදුන් ජනාධිපති සමාව පිළිබඳව ආගමික නායකයන්, සිවිල් සමාජ කි‍්‍රයාකාරීන් හා විවිධ සංවිධාන එක්ව ජනාධිපති සමාව පිරිනමන ලෙස ආයාචනා කළ ප‍්‍රවෘත්තියේ මා ලිඛිතව ඉල්ලීමක් කළ බවට එහි සඳහන් කර ඇත.
 
 ඉහත නම සඳහන් චූදිතයා සම්බන්ධව මා ජනාධිපතිතුමා හට හෝ ගරු අධිකරණය වෙත කිසිදු ආයාචනයක් නොකළ බවට තරයේ ප‍්‍රකාශ කර සිටිමි. මෙහි සඳහන් නඩුව පිළිබඳව කිසිදු අධ්‍යයනයක් නොකළ බවටත් එකී චූදිතයා මා පෞද්ගලිකව නොහඳුනන බවද ප‍්‍රකාශ කර සිටිමි.
 
 එහෙත් මීට වසර කිහිපයකට පෙර ගෞරවණීය මහා සංඝරත්නය හා සිවිල් සමාජයීය කි‍්‍රයාකාරීන් විසින් මාගෙන් ඉල්ලා සිටියේ සිරකරුවන්, විශේෂයෙන් තරුණ රැුඳවියන් හට වඩාත් යහපත් පරිසරයක් තුළ පුනරුත්ථාපනය හා නිසි අධ්‍යාපනයක් ලබාදෙන මෙන් ජනාධිපතිතුමා හට ලිඛිත ඉල්ලීමක් කරන ලෙසය. එය එසේ සිදුකළ අතර ඉදිරියේදී ද රැුඳවියන් වෙනුවෙන් අවශ්‍ය සෑම අවස්ථාවකදීම සාධාරණව හා යුක්ති සහගත ලෙස මැදිහත් වීමට ද බලාපොරොත්තු වෙමි.
 
 අපගේ පොදු ඉල්ලීම මෙම අවස්ථාවේදී අයුතු ලෙස උලූප්පා දැක්වීම පිළිබඳව මාගේ බලවත් අප‍්‍රසාදය ප‍්‍රකාශ කර සිටිමි. කතෝලික සභාවට ද ගාල්ල රදගුරු පදවියට ද පෞද්ගලිකව මා හට ද සිදුවුණු අපහසුතාව හා කැළල පිළිබඳව වගකීම, මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කළ බලධාරීන් විසින් භාරගෙන ඉක්මනින් නිවරදි කිරීමක් සිදුකරනු ඇතැයි අපේක්‍ෂා කරමි.

Post a Comment

0 Comments