නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් දිගින් දිගටම පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට විවාදයක් සඳහා ආරාධනා කර සිටීම පිළිබඳ විවිධ කථිකාවත් නිර්මාණය වී තිබිණි.
කෙසේ වෙතත් ඊයේ(11) දිනයේ අද දෙරණ 360 වැඩසටහනට සහභාගී වෙමින් මේ පිළිබඳ ගෝඨාභ රාජපක්ෂ මහතා සිය අදහස් පළ කර සිටියේය.
ඊයේ දිනයේ පැවැත් වු 360 වැඩසටහන සඳහා සජිත් ප්‍රේමදාස මහතාට මීට පෙර ආරාධනා කර තිබුණු අතර එතුමා එයට කැමැත්ත පළ කර තිබුණද පසුව එයට සහභාගි විය නොහැකි බව ප්‍රකාශ කර තිබුණේය.
මේ අතර ඊයේ දිනයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ, තම වගකීම ඇත්තේ ජනතාව සමඟ බවයි.
ජනතාවට තම ප්‍රතිපත්ති ප්‍රකාශ කර ඇති බවත් මාධ්‍ය සාකච්ඡාවලට තමන් සහභාගී වෙන බවත් පැවසු ඒ මහතා, තමා මෙන්ම අනෙක් අයටත් ජනතාව සමඟ තම සංවාදය සිදු කළ හැකි බවත් පැවසීය.
ජනතාව විසින් අවසන් වශයෙන් ප්‍රතිපත්ති තෝරා ගැනීමට හැකි බවත් කියා සිටි ගෝඨාභය මහතා, යම් ප්‍රතිපත්තියක් සැබවින්ම ක්‍රියාත්මක කළ හැක්කේ කවුරුන්ට ද ඒවා ක්‍රියාත්මක කළේ කවුද යන කරුණු ජනතාව විසින් තේරුම් ගත යුතු බවත් කියා සිටියේය.
පෞද්ගලිකව තම විරුද්ධවාදීන් සමඟ විවාද කිරිමෙන් සිදුවන්නේ මඩ ගසා ගැනීමක් හැර අන් කිසිවක් සිදුවන්නේ නැතැයි තම විශ්වාසය බවද කියාසිටි ඒ මහතා, තමා මෙතෙක් කල් කිසිදු අපේක්ෂකයෙකුගේ නමක් භාවිතා නොකර තම මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කර ඇතැයි ද පැවසීය.
ලංකාවේ ඇති මෙම දේශපාලනික සංස්කෘතිය වෙනස් කළ යුතු යැයි ද කියා සිටි ගෝඨාභය මහතා තමාට කවුරුන් මොන දේ පැවසුවත් තමා කිසිවෙකුගේ නමක් ප්‍රකාශ කර නැතැයි ද එය තමාගේ ප්‍රතිපත්තිය බවද වැඩිදුරටත් සඳහන් කළේය.
0 Comments