රටේ යහපත වෙනුවෙන් විධායක බලතල ක්‍රියාත්මක කරනවා - ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ජාතිය අමතමින් කියයි


 රටේ බෞද්ධ දර්ශනය ආරක්‍ෂා කොට පෝෂණය කරනවා

- මවුබිම ත්‍රස්තවාදයෙන්, පාතාල ක්‍රියාකාරකම්වලින් මුදා ගන්නවා
- දූෂණයෙන් වංචාවෙන් තොර සැබෑ ජනතා සේවයට කැපවෙනවා

ජාතික ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම මූලික  වගකීමක් ලෙස සලකමින්, රටේ යහපත වෙනුවෙන් විධායක බලතල ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජාතිය අමතමින් පැවසීය. 04 - පිටුවට

මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ ඊයේ (18 දා) පෙරවරු 11.48 ට යෙදුණු සුබ මොහොතින් ඒ මහතා දිවුරුම් දුන්නේය.

සිය ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය බහුතර සිංහල ජනතාව බවත්, එම ජයග්‍රහණයේ කොටස්කරුවන් වන්නැයි දෙමළ හා මුස්ලිම් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළද ඊට ලද ප්‍රතිචාරය අපේක්‍ෂා කළ මට්ටමට නොතිබුණු බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකීය ජාතියක් වශයෙන් එක්වී රට ගොඩනැඟීම වගකීමක් බවත්, ඒ සඳහා තමන් සමග එක්වන මෙන් සියලුම දේශප්‍රේමී ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් අභිනව ජනාධිපතිවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පෙරවරු 11.48 යෙදුණු සුබ මොහොතින් අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ සලපතල මළුවේදී දිවුරුම් දුන්නේය. සලපතල මළුවේ ඉදිකර තිබූ විශේෂ පීඨිකාවක් මත මහා සංඝරත්නයේ හා අන්‍යාගමික පූජකතුමන්ලාගේ ආශීර්වාද මධ්‍යයේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුකෙරිණි.

ලොව්තුරා බුදුන් වහන්සේගේ ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින ඓතිහාසික රුවන්වැලි මහා සෑ සලපතල මළුවේ ජනාධිපති වරයෙක් මෙසේ දිවුරුම් දීමේ උත්සවයක් පවත්වනු ලැබුවේ ඉතිහාසයේ ප්‍රථම වතාවටය.

මෙම දිවුරුම් දීමට පෙර චාරිත්‍රානුකූලව සිදුකෙරෙන ජනාධිපති ධුරය භාර ගැනීමේ විශේෂ නිල නිවේදනය ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා විසින් ප්‍රකාශයට පත්කරනු ලැබීය. මුළු රටම එක්සේසත් කළ ශ්‍රේෂ්ඨ නරපතියකු වූ දුටුගැමුණු මහ රජාණන්ගේ ජය භූමිය ලෙස සැලකෙන රුවන්වැලි සෑ මළුවේ පවත්වනු ලැබූ මෙම උත්සවය ඉතා ගරු ගාම්භීරවත් වූ එහෙත් චාම් අයුරින් පවත්වනු ලැබූ එකක් විය.

දිවුරුම් දීමේ පීඨිකාවේ සිට මඟුල් බෙර හා ජයසංඛ නාදය මධ්‍යයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් විශේෂ පීඨිකාවක සිට ලංකාවේ අභිනව ජනාධිපතිවරයා ලෙස ජාතිය ඇමතීය.

මෙම දිවුරුම් දීමේ උත්සවය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණියේ හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තියෙන් පසුවය. අයෝමා රාජපක්ෂ මැතිනියත් පුතණුවනුත් සමග පැමිණි ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් සිය වැඩිමල් සොහොයුරන් වන හිටපු කථානායක චමල් රාජපක්ෂ මැතිඳුන්ට මෙන්ම හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට වැඳ සමාචාර කළේය.

එම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය ලබාදුන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් සහ ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් මැති ඇමැතිවරු විශාල පිරිසක් පැමිණ සිටියහ. ඒ අතර විදේශීය මහ කොමසාරිස්වරුන් හා තානාපතිවරු ඇතුළු දෙස් විදෙස් ආරාධිතයන් පිරිසක් ද පැමිණ සිටියහ. අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීම සිදුවූයේ ඔහුගේ සොහොයුරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනයේ දී වීම විශේෂත්වයක් විය.

අභිනව ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමෙන් අනතුරුව සලපතල මළුව වෙත වැඩම කර සිටි මහා සංඝරත්නය ජනාධිපතිවරයාට සෙත් පිරිත් සජ්ඣායනා කරමින් ආශිර්වාද කළහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීම සඳහා රුවන්වැලි මහා සෑ මළුවට පැමිණීමට පෙර අයෝමා රාජපක්ෂ මැතිනිය හා පුතණුවන් සමග ගොස් උඩ මළුවේ ජයසිරි මහා බෝ සමිඳුන් වැඳ පුදා ගෙන ආශිර්වාද ලබාගත්තේය.

මෙම ඓතිහාසික අවස්ථාව සියැසින් දැකබලා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් විශාල පිරිසක් අනුරාධපුර රුවන්වැලි මහ සෑ පුණ්‍ය භූමිය වෙත පැමිණ සිටියහ.

Post a Comment

0 Comments