මෛත්‍රී ධුරයෙන් විශ්‍රාම යයි !

ජනාධිපතිවරණයට ඇත්තේ එක් දිනයකි. ප්‍රධාන පාර්ශ්ව දෙකම ජයග්‍රහණය සම්බන්ධයෙන් දැඩි විශ්වාසයකින් පසුවෙති. මේ නිසා දේශපාලන තලය දැඩි ලෙස උණුසුම්ය. කවුරුන් ජයග්‍රහණය කළ ද රටක් ලෙස අප ඉදිරියට යා යුතුය. එම නිසා කවුරුන් ජයග්‍රහණය කළ ද ඉන්පසුව සියලු වාද බේද ඉවතලමින් රටේ දියුණුව වෙනුවෙන් සියලු දෙනා කැපවිය යුතුය.
 
 පොදුවේ ගත් කල මෙවර අපේක්ෂකයන් සියලුදෙනා තම ප්‍රතිපත්ති ප්‍රකාශන තුළින් පවසා සිටියේ රටත් ජනතාවත් දියුණු කරන ආකාරයත් ජනතාවට සහන සලසන ආකාරයත් ය.එම නිසා ජයග්‍රාහකයා ඒ සියලු යහපත් යෝජනා ක්‍රියාත්මක කළහොත් රටටත් ජනතාවටත් යහපතක් වනු ඇත.
 
 ජනාධිපතිවරණයේ ආරක්ෂාව...
 
 මේ වන විට ජනාධිපතිවරණයට සියලු කටයුතු සූදානම්ය. ජනාධිපතිවරණයේ ආරක්ෂක රාජකාරි හා සාමාන්‍ය රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 60,175 දෙනකු යොදවා තිබේ.
 
 ආරක්ෂක රාජකාරි කටයුතු, රථවාහන රාජකාරි කටයුතු, පොලිස් නිලධාරීන්ගේ සුභසාධන කටයුතු සොයා බැලීම්, ප්‍රභූ ආරක්ෂක සේවා, හදිසි ඇමතුම්, අධිකරණ කටයුතු, බුද්ධි නිලධාරීන්, මැතිවරණ පැමිණිලි, විමර්ශන ආදී කටයුතු රැසක් වෙනුවෙන් මෙම පිරිස යොදවා ඇත.
 
 මෙම පොලිස් නිලධාරීන්ට අමතරව සිවිල් ආරක්ෂක බලකායේ භටයන් 8080 දෙනකු හා පොලිස් විශේෂ කාර්ය බලකායේ භට පිරිස් ද යොදවා තිබේ.
 
 ජනාධිපති මැතිවරණයට අදාළව ඡන්ද පොළ මධ්‍යස්ථාන 12856 ක් සඳහා නිලධාරීන් 25712 වශයෙන්ද, ජංගම සංචාර 3043 වෙනුවෙන් 6086 දෙනෙක් ද, ගණන් කිරීමේ මධ්‍යස්ථාන 43 ක් වෙනුවෙන් පොලිස් නිලධාරීන් 2193 දෙනෙක් ද, මර්දන කණ්ඩායම් සඳහා නිලධාරීන් 1233 දෙනකුද, මාර්ග බාධක 190 වෙනුවෙන් 1687 ද වශයෙන් මෙම පිරිස යොදවා ඇත.
 
 එම විශේෂ මාර්ග බාධකයක් වෙනුවෙන් පරීක්ෂණ ශ්‍රේණියේ නිලධාරියකු, පොලිස් සැරයන්වරයකු, කොස්තාපල්වරුන් සිව්දෙනකු හා සිවිල් ආරක්ෂක බලකායේ දෙදෙනකු වශයෙන් යොදවා තිබේ.
 
 ප්‍රචණ්ඩ ක්‍රියා...
 
 පොදුවේ ගත් කල මෙවර ජනාධිපතිවරණය අතිශය සාමකාමීය. ඝාතන කිසිවක් වාර්තා නොවීය. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට මේ දක්වා ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට සහ දිස්ත්‍රික් මැතිවරණ කළමනාකරණ මධ්‍යස්ථාන වෙත මුළු දිවයිනෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 3729 ක් වාර්තා වී ඇතැයි ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
 
 මෙයින් දිස්ත්‍රික් මැතිවරණ මධ්‍යස්ථාන වෙත ලැබී තිබූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව 18 ක් වන අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 2547 කි. වෙනත් පැමිණිලි 75 ක් දිවයිනේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථාන වෙත ලැබී තිබේ.
 
 ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 09 ක් වන අතර වාර්තා වූ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 1049 කි. වෙනත් පැමිණිලි 31 ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත වාර්තා වී ඇත.
 
 උතුරෙන් වර්ජන තර්ජන...
 
 මේ අතර ජනාධිපතිවරණයේදී ඡන්දය වර්ජනය කරන්නැයි ඉල්ලා උතුරු පළාතේ අත්පත්‍රිකා බෙදීමක් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වෙත ලැබී තිබේ.
 
 දෙමළ ජාතික ජනතා පෙරමුණ නමින් ද තවත් පිරිස් නිර්නාමිකව ද මෙම අත් පත්‍රිකා බෙදා ඇති බව සඳහන්ය.
 
 තිරුනල්වේලි, නල්ලූර් හා කෝපායි ඇතුළු ප්‍රදේශ
 
 රැසකින් එවැනි සිදුවීම් ගැන තොරතුරු වාර්තා වී ඇත.
 
 දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා මෙවර ජනාධිපතිවරණය වර්ජනය කළ යුතු බවට ප්‍රකාශ කර තිබේ.
 
 මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ධුර කාලය නිමා කරයි...
 
 නව ජනාධිපතිවරයකු තෝරා ගන්නා ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල කාලය අවසන් වීමට නියමිතය. ඉන් පසුව මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට බොහෝ දුරට ඉඩ තිබේ.
 
 ජනාධිපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා පවත්වන ලද අවසන් කැබිනට් රැස්වීම මේ සතියේ පවත්වන ලදී.
 
 ආණ්ඩුවේ ඇතැමුන් සමඟ මත ගැටුම් තිබුණ ද ගත වූ වසර පහකට ආසන්න කාලය තුළ ජනතාව වෙනුවෙන් කටයුතු කරන්නට දැක්වූ සහය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර කැබිනට් රැස්වීමේදී ඇමැති මණ්ඩලයට ස්තුතිය පළ කළේය.
 
 තමාගේ පාලන කාලය තුළ සාමාන්‍ය ජනතාවට එරෙහිව එක තුවක්කුවක් හෝ පත්තු වී නැතැයිද රට තුළ මානව නිදහස හා මාධ්‍ය නිදහස තහවුරු කරන්නට හැකිවී යැයිද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.
 
 සාධාරණ හා නිදහස් මැතිවරණයක් පවත්වන්නට තමාට හැකි වූ බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
 
 තමාගේ වසර පහකට ආසන්න කාලය තුළ රටට ජයග්‍රහණ රැසක් හිමිකර දුන් බව පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා සහය දුන් ඇමැති මණ්ඩලයට ස්තුතිය පළ කළේය.
 
 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් දක්වමින් විශ්‍රාම යන ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කළෝය.
 
 මෛත්‍රිපාල සිරිසේන මහතා රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ආරක්ෂා කරන්නට කැපවූ නායකයකු බව පැවසූ අගමැතිවරයා මත ගැටුම් තිබුණ ද එකට කටයුතු කරමින් ජනතාවගේ නිදහස ආරක්ෂා කරන්නට ජනාධිපතිවරයා කැපවූ බව පැවසීය.
 
 එහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව නිදහස තහවුරු වූ බව සඳහන් කළේය.
 
 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයෙන් සමු ගැනීමේ උත්සවය පසුගියදා පැවැත්විණි.
 
 ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය එම අවස්ථාවට සහභාගි වූහ.
 
 මේ අතර බන්ධනාගාරගත කර සිටින වයස අවුරුදු 65 ට වැඩි සිරකරුවන් 267 ක් මැතිවරණයෙන් පසු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
 
 මිනීමැරිම්, මංකොල්ල කෑම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මත්කුඩු ඇතුළු සංවිධානාත්මක අපරාධ ඇතුළු වැරදි 40 කට සම්බන්ධ නොමැති සිරකරුවන් පිරිසකට මෙලෙස නිදහස හිමි වේ.
 
 මැතිවරණවලදී පෝස්ටර්, බැනර් සහ කටවුට් ප්‍රදර්ශනයට නව නීති...
 
 මේ අතර ඉදිරි මැතිවරණවලදී පෝස්ටර්, බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය කිරීමෙන් සිදුවන දෘශ්‍ය දූෂණයට අදාළ රෙගුලාසි මාලාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අත්සන් තබා තිබේ.
 
 මේ අනුව ඉදිරියේදී දෘෂ්‍ය දූෂණය වැළැක්වීම සඳහා නව නීති ක්‍රියාත්මක කෙරේ.
 
 මැතිවරණයේදී පෝස්ටර්, බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය කිරීමෙන් සිදුවන දෘෂ්‍ය දූෂණය වැළැක්වීමට අදාළ රෙගුලාසි මාලාව 2148/19 දරණ ගැසට් පත්‍රය නොවැම්බර් මස 05 වැනිදා ගැසට් පළ කර තිබේ.
 
 ඉදිරි මැතිවරණයේදී පෝස්ටර්, බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය කිරීමෙන් සිදුවන දෘෂ්‍ය දූෂණයට අදාළ රෙගුලාසිවලට අනුව ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක් මගින් වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කරමින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව නව නීති පැනවීම සිදු විය.
 
 ආරක්ෂක අමාත්‍යාංශය විසින් කෙටි පණිවුඩ සේවාවක්...
 
 ජාතික ආරක්ෂාව හා හදිසි ආපදා කළමනාකරණ තත්ත්වයන් පිළිබඳ සත්‍ය තොරතුරු ඉතා කඩිනමින් මහජනතාව වෙත ලබාදීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් කෙටි පණිවුඩ සේවාවක් ආරම්භ ඇත.
 
 සාමාන්‍ය ජනතාව වෙත සත්‍ය තොරතුරු ලබාදීම මගින් මහජනතාව භීතියට පත්කරන සහ මහජන කලබලයට හේතු විය හැකි කටකතා සහ තොරතුරු පැතිරීම වැළැක්වීම සඳහා මෙම සේවය ආරම්භ කිරීමේ මූලික අරමුණයි.
 
 රටම ආවරණය වන පරිදි මෙම කෙටි පණිවිඩ සේවාව ක්‍රියාත්මක වන අතර කෙටි පණිවිඩ සේවාව ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ සහ ජාතික බුද්ධි අංශ ප්‍රධානී කාර්යාලය විසින් අධීක්ෂණය කර දුරකථන සමාගම් හරහා මෙම කෙටි පණිවිඩය බෙදා හැරීමට නියමිතය.
 
 එල්.ටී.ටී.ඊ. තහනම ඉන්දියාවේ දිගටම...
 
 එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ඉන්දියාව තුළ හිස එසවීම වැළැක්වීම සඳහා ඉන්දීය රජය සියලු පියවර ගෙන තිබේ.
 
 ඒ අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානය මත පැනවූ තහනම තවදුරටත් දීර්ඝ කිරීමට ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ගත් තීරණය එරට විනිශ්චය සභාවක් විසින් තවදුරටත් තහවුරු කරනු ලැබ තිබේ.
 
 එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස සලකා බලමින් ඊට පනවා තිබූ තහනම තවත් වසර පහකින් දීර්ඝ කිරීමට ඉන්දීය මධ්‍යම රජය පසුගිය සමයේ පියවර ගත්තේය. එහෙත් ඇතැම් පාර්ශ්වවලින් ඊට විරෝධය එල්ල විය. ඒ අනුව මේ සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඉන්දීය ආණ්ඩුව විනිශ්චය සභාවක් ස්ථාපිත කරන ලදී.
 
 දිල්ලි මහාධිකරණ විනිසුරු සංගිතා දින්ග්‍රා ෂෙගාල්ගේ මූලිකත්වයෙන් යුතු එම විනිශ්චය සභාව විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස සලකා බලමින් ඊට පනවා තිබූ තහනම වසර පහකින් දීර්ඝ කිරීමට මධ්‍යම ආණ්ඩුව ගත් තීරණය විමසා බැලිණි. ඒ අනුව මධ්‍යම ආණ්ඩුව ගත් තීරණය නිවැරැදි යැයි එම තීරණය තවදුරටත් තහවුරු කරමින් විනිශ්චය සභාව මධ්‍යම ආණ්ඩුවට දැනුම් දී තිබේ.
 
 සියලු පාර්ශ්වවල කරුණුවලට සවන් දීමෙන් අනතුරුව විනිශ්චය සභාව එම තීන්දුව ගෙන තිබේ. එහිදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහාය දක්වන්නකු ලෙස ප්‍රසිද්ධ එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක රාජ්‍ය සභාවේ සාමාජික වයිකෝගේ කරුණු දැක්වීම් ද සලකා බලා තිබේ.
 
 පසුගිය මැයි මස 27 වැනිදා මෙම විශේෂ විනිශ්චය සභාව පිහිටු වූ අතර දිල්ලියේදී සහ චෙන්නායි නුවරදී කරුණු විමසීම් සිදු කෙරුණි. එල්.ටී.ටී.ඊ. සංවිධානය 1991 වසරේදී ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය කිරීමත් සමඟ එම සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට ඉන්දියාව පියවර ගත්තේය.
 
 ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පසුගිය මැයි 14 වැනිදා එල්.ටී.ටී.ඊ. සංවිධානය මත 2014 වසරේදී පැනවූ තහනම තවත් වසර පහක් දක්වා දීර්ඝ කළේය.
 
 එල්.ටී.ටී.ඊ. සංවිධානය 2009 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාව අතින් පරාජයට පත්වුවද ඉන්දියාව තුළ ජාත්‍යන්තර තුළ නැවත නැගී සිටින්නට එම සංවිධානය උත්සාහ කරන බවටත් එය ඉන්දියාවේ ස්වෛරීත්වයට සහ ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරන අන්දමේ ක්‍රියාකාරකම්වල නිරත වන බවටත් තොරතුරු ලැබී ඇතැයි තහනම දීර්ඝ කරමින් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබිණි.
 
 මේ ආකාරයටම ශ්‍රී ලංකාව ද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතුව තිබේ.

Post a Comment

0 Comments