උපවාසය අත්හරින්නැයි ගෝඨාභයගෙන් කාශ්‍යප හිමිට ලිපියක්

පූජ්‍ය උඩදුම්බර කාශ්‍යප හිමියන් අද(05) පෙරවරුවේ ආරම්භ කළ මාරාන්තික උපවාසය නතර කරන මෙන් ඉල්ලමින් ‍පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ලිපියක් යවා තිබේ.
අත්සන් කිරීමට නියමිත අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරෙහිව කොළඹ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කාශ්‍යප හිමියන් විසින් මෙම උපවාසය ආරම්භ ක‍ළේය.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මැතිවරණ ප්‍රතිඵල නිකුත් වන මොහොත දක්වා මෙම ආණ්ඩුව විසින් අත්සන් තබන ලද සියලුම ගිවිසුම් ජාතික ආරක්ෂාව, ස්වෛරීයභාවය සහ  ජාතික අවශ්‍යතාවයන්ට යටත්ව නැවත සලකා බැලීමටත්, ජාතික උවමනාවන්වලට පටහැනි නම් ඒවා අහෝසි කිරීමට කටයුතු කරන බවත් එම ලිපියේ වැඩිදුරටත් දක්වා තිබේ.

මෙම උපවාසය අත්හරින ලෙස කාශ්‍යප හිමියන්ගෙන් තමා බැගෑපත්ව ඉල්ලා සිටින බවද එම ලිපියේ වැඩිදුරටත් ‍ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පෙන්වා දී ඇත.
මෙම ලිපිය අද සවස පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් උන්වහන්සේල පිළිගන්වනු ලැබීය.
එම දර්ශන මෙම වීඩියෝවේ දක්වා තිබේ.
අද පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රය වෙත වැඩම කළ පූජ්‍ය උඩදුම්බර කාශ්‍යප හිමියන් සිය මාරාන්තික උපවාසය ආරම්භ කළේය.
කොළඹ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ලෙස කටයුතු කරන පූජ්‍ය උඩදුම්බර කාශ්‍යප හිමියන් බුදු දහම ආරක්ෂා කිරීම සඳහා සුවි‍ශේෂි ශාසනික සේවාවන් රැසක් ඉටු කරමින් සිටින හිමිනමක්. 
ආණ්ඩුවට පිටු 3ක ලිපියක් යොමුකරන උන්වහන්සේ පවසන්නේ, එම්.සී.සී. ගිවිසුම හරහා මාතෘභූමිය විදෙස් රටකට පාවා දෙන අවස්ථාවේදී ඒ දෙස නිහඩව බලාසිටිමට තමන් වහන්සේට නොහැකි බැවින් මෙලෙස උපවාසයක් ආරම්භ කිරිමට තීරණය කළ බවයි.
එමෙන්ම මෙම ගිවිසුම අත්සන් නොකරන බවට ජනාධිපතිවරයාගෙන් හෝ අග්‍රාමාත්‍යවරයාගෙන් වූ ලිඛිත පොරොන්දුවක් ලැබෙන තෙක් සිය මාරාන්තික උපවාසය අඛණ්ඩව සිදුකරන බව ද කාශ්‍යප හිමියන් කියා සිටියි.
සම්පූර්ණ ලිපිය පහතින් දැක්වෙයි.

Post a Comment

0 Comments