අධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශය මගින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්‍ෂි විභාගය සහ දෙපාර්ශ්වයේ දේශන ඊයේ (25 දා* අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුව ලබන ඔක්තෝබර් 21 වැනිදා යළි කැඳවීමට දින නියම කළේය.
 
 පැමිණිල්ලේ හා විත්තියේ සාක්‍ෂි විභාගයේදී ඉදිරිපත් වූ සාක්‍ෂි සම්බන්ධයෙන් සහ දෙපාර්ශ්වයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ දේශන සම්බන්ධයෙන් නඩුවේ තීන්දුව සඳහා දින නියම කිරීමට පෙර අවශ්‍ය පැහැදිලි කරගැනීම් සිදු කිරීමට කැඳවීම් දිනයක් ලෙස එලෙස නඩුව යළි කැඳවීමට විනිසුරු මඬුල්ල දින නියම කළේය.
 
 එම නඩුව සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවිණි.
 
 වගඋත්තරකාර රන්ජන් රාමනායක මහතා එක් අවස්ථාවකදී පමණක් නොව නැවත නැවතත් අධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශ අනුව ඔහු ඉතාමත් බරපතළ ලෙස අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් එකී වරදට නිසි දඬුවම දීම අධිකරණයේ කාර්ය භාරය බවත් නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.
 
 පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයකු ද වන එම වගඋත්තරකරු රටේ ඉතා ජනප‍්‍රිය පුද්ගලයකු වන බැවින් එකී ප‍්‍රකාශවල යම් සත්‍යතාවක් ඇති බව ජනතාවට ඒත්තුගැන්වෙන බැවින් එකී ප‍්‍රකාශ සුළුකොට තැකීමේ හැකියාවක් නොමැති බව ද ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.
 
 යම් අධිකරණ නිලධාරියකු (විනිසුරුවරයකු* වරදක් සිදුකර ඇති නම් ඒ සම්බන්ධයෙන් ගත යුතු නීතිමය ක‍්‍රියාමාර්ග තිබියදී එලෙස නොකර සමස්ත විනිසුරුවරුන්ම ඉලක්ක කොට අපහාස කිරීම ඉතා බරපතළ කරුණක් වන්නේ යැයි ද එහිදී විනිසුරු මඬුල්ලට පෙන්වා දුන් සරත් ජයමාන්න මහතා එවැනි ප‍්‍රකාශ මගින් පොදු ජනතාව තුළ අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින විශ්වාසය දැඩි ලෙස බිඳී යෑමක් සිදුවන්නේ යැයි ද ප‍්‍රකාශ කළේය.
 
 මෙම නඩුකරය විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිමය බලයක් නොමැති බවට විත්තියේ නීනිඥවරයා පෙර දිනයේ දැක්වූ කරුණු පදනම් විරහිත වන්නේ යැයි ද එහිදී විනිසුරු මඬුල්ලට පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වගඋත්තරකාර රන්ජන් රාමනායක මහතා කරුණු දක්වනු ලැබුවේ හිටපු අධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් නොව වර්තමානයේ සිටින විනිසුරුවරුන් සම්බන්ධයෙන් බව පැහැදිලි වන්නේ යැයි ද පෙන්වා දුන්නේය.
 
 සිය සේවාදායකයා කළ ප‍්‍රකාශයක් නැවත නැවතත් මාධ්‍ය මගින් විකාශනය කිරීමෙන් ජනමාධ්‍ය ආයතන රැුසක් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන මෙන් රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය.