වසර 36ක් පුරා මෙරටට විශාල කීර්තියක් අත්කර දුන් සුපිරි මෝටර් රථ ධාවනශුරි ඩිලන්ත මාලගමුව මහතාට මෙවර ලැම්බෝර්ගිනි සුපර් ට්‍රෝෆියෝ යුරෝපා ශූරතාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ වැදීම සඳහා රාජ්‍ය අනුග්‍රහය හිමිව තිබෙනවා. 

ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ විශේෂ හමුවකට මාලගමුව මහතා ඊයේ (26) එක්ව තිබෙනවා. 

මෙරට රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෝටර් රථ ධාවන තරඟාවලියක් සඳහා ඩිලන්ත මාලගමුව මහතා එක්වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. 

මෙහි දී වසර 36ක් පුරා මෙරටට විශාල කීර්තියක් අත්කර දුන් ඩිලන්ත මාලගමුව මහතාට මෙවර ද ශූරතාව ශ්‍රී ලංකාවට රැගෙන ඒමට හැකි වේවායි අගමැතිවරයා සුබ පැතුම් ද එක් කර තිබෙනවා. 

මෙම තරගාවලිය සැප්තැම්බර් 5 සිට නොවැම්බර් මස 15 වනදා දක්වා ජර්මනිය, ස්පාඤ්ඤය, බෙල්ජියම, සහ ප්‍රංශය යන රටවල් හිදී පැවැත්වීමට නියමිතයි. 

ප්‍රථම වතාවට රාජ්‍ය අනුග්‍රය ලැබීම පිළිබඳ විශේෂ සටහනක් තැබූ ඩිලන්ත මාලගමුව මහතා අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයටත්, එම කටයුතු සම්පාදනය කළ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාට සහ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයටත් ස්තූතිය පළ කොට තිබේ.