කිතුල් සහ තල් ප්‍රධාන අපනයන බෝග අතරට එක් කර විදේශ විනිමය උත්පාදනයේ නව ප්‍රවේශයක් විවෘත කර ගැනීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙනවා 

එමෙන්ම කිතුල් සහ තල් වගා ප්‍රවර්ධනයටත් ඒ ආශ්‍රිත බාධක ඉවත් කර නිෂ්පාදන ක්‍රියාවලිය දිරි ගැන්වීමටත් කඩිනම් වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා නිලධාරීන්ගේ අවධානයට යොමු කරමින් කිතුල් සඳහා වෙනම රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට සහ තල් ගස් කැපීම තහනම් කරමින් පනවා ඇති නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා 

පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ කරුණු පෙන්වා දුන් බවයි වාර්තා වන්නේ 

විශාල විදේශ විනිමයක් උපයා ගැනීමේ ශක්‍යතාව සහිත රාජ්‍ය අමාත්‍යාංශයක් ලෙස අමාත්‍යාංශයේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිතුමා විසින් කෙටි කාලයකදී ළඟා කරගත යුතු ඉලක්ක සැලසුම් කරන්නැයි නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා 

දේශීය වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි බිලියන 03 ක් වන අතර ඉන් බිලියන 1.8ක් පරිභෝජනයට ගන්නා බවත්, වැඩි අපනයනයක් සඳහා වගාව ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා . 

පොල් සඳහා ස්ථාවර මිලක් නියම කිරීම කෙරෙහි ද අවධානය යොමු කෙරුණු අතර දෙමුහුන් බීජ පැල වගාව සඳහා එක් කර ඉහළ ඵලදාවක් ලබා ගැනීමට ද සාකච්ඡාවේදී අවධානය යොමුවුනා . 

රබර් අපනයනයෙන් ලැබෙන වාර්ෂික ආදායම ඩොලර් මිලියන 600 ක් . එය 2020 වසරේදී ඩොලර් මිලියන 2000ක ආදායමක් බවට වර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බවත් , රබර් වගාවේදී නව ප්‍රභේද හඳුන්වාදීමටත් බෑවුම් ප්‍රදේශවල ෆයිනස් ගස් වෙනුවට රබර් ගස් සිටුවීමට ඇති හැකියාවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නා