දිවුලපිටියෙන් කොරෝනා අසාදිත කාන්තාවක් සොයා ගැනිීමත් සමග ගම්පහ - දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. 

ඇඳිරි නීතිය නොතකමින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

පවතින තත්ත්වය යටතේ ලබන 09 වනදා ආරම්භ වීමට නියමිත ව තිබූ දෙවන පාසල් වාර නිවාඩුව හෙට සිට ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමත්‍යාංශය පියවර ගනු ලැබුවා. 

එසේම, දිවයිනේ සියලුම කතෝලික පාසල්ද අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණයට අනුව හෙට සිට වසා දැමෙනවා. 

එසේම, පාසල් නිවාඩුවට සමගාමීව දිවයිනේ සියලු පෙර පාසල් ද හෙට සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට පියවර ගනු ලැබුවා.

එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම උපකාරක පන්ති සහ පිරිවෙන් ද අද  සිට සතියක කාලයක් වසා තැබීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. 

කැළණිය විශ්වවිද්‍යාලය, නයිවල උසස් තාක්ෂණ ආයතනය සහ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ආයතනය ද තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

පවතින තත්ත්වය සලකමින් කැළණිය විශ්ව විද්‍යාලයේ සියලු සිසුන්ට විශ්ව විද්‍යාලයෙන් හා නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙස දැනුම් දී ඇතැයි එම විශ්ව විද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමය පවසනවා. 

කොරෝනා වෛරසය නැවත පැතිරීමේ අවදානමක් උද්ගත වී ඇති මොහොතක සිසුන් නැවත නිවෙස් කරා පිටත් කර යැවීම අවදානම් බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර, මහර සහ මීගමුව බන්ධනාගාරවලට රැඳවියන් බැලීමට පැමිණීම ද තාවකාලිකව අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවා.

එසේම, හෙට දිනයේ රජයේ කාර්යාලයන්හි පැවැත්වෙන මහජන දිනය මේ සතිය තුළ නොපැවත්වෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් වාර්තාවීමත් සමග කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ පිහිටි පැමිණීමේ සහ පිටවීමේ පර්යන්තයේ ඇති ආලින්දවලට ද ගුවන් මගීන් සමඟ පැමිණෙන අමුත්තන්ට පිවිසීම තාවකාලිකව නතර කර තිබෙනවා. 

ඒ හා සමගාමීව ගුවන් තොටුපල මහජන ක්‍ෂේත්‍ර මණ්ඩපය ද තාවකාලිකව වසා දමා ඇති බවයි ගුවන් තොටුපල කාර්ය භාර නිලධාරිවරයා සඳහන් කළේ.

පවතින තත්ත්වය සලකා නැවත දැනුම් දෙන තුරු සියලුම මගී ප්‍රවාහන බස්රථ වල ගමන් කිරීමේදි නියමිත ආසන ගණනට අනුව මගීන් රැගෙන යාම සිදුකල යුතු බව බස් රථ ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.

එසේම, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට පැමිණෙන මගීන් දැඩි සෞඛ්‍ය මාර්ගොපදේශයන්ට යටත්ව දුම්රිය ස්ථානයට ඇතුළුවීය යුතු බවයි. 

හෙට සිට දුම්රියෙන් ගමන් කිරීමේදි මුඛ ආවරණ පැළදීම අනිවාර්ය බවද එම දෙපාර්තමේන්තුව කියා සිටියා.

මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල සිටින ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්ෂක බලකායන්හි සේවය කරන සියලුම නිලධාරීන්ට දැනුම්දෙන තුරු රාජකාරි ස්ථානවලට වාර්තා නොකරන ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශ කළා. 

එමෙන්ම, අදාළ ප්‍රදේශ දෙකෙහි කඳවුරු තුළ සිටින ආරක්ෂක අංශ නිලධාරීන්ට ද ඉන් පිටතට නොයන ලෙසටයි යුද හමුදාව දැනුම් දෙන්නේ. 

මිනුවන්ගොඩ සහ දිවුලපිටිය හැර ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවල සේවයෙහි නිරත ආරක්ෂක අංශ නිලධාරින් හෙට දිනයේ පමණක් රාජකාරි සඳහා වාර්තා නොකරන ලෙසටද යුද හමුදා මාධ්‍ය අංශයට සදහන් කලා.

මේ අතර, කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එහි ප්‍රධානි යුද  හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද සිල්වා සහ නියෝජ්‍ය පොලිස්පති  අජිත් රෝහණ එක්වුණා.

ඊට එක්වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කියා සිටියේ සංගීත සංදර්ශන, ප්‍රියසම්භාෂණ උත්සව සඳහා යළි සීමා පැනවීමට සිදුවනු ඇති බවයි.

මේ අතර, කොරෝනා අසාදිත කාන්තාව වාර්තා වීමත් සමග බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල අද නිරීක්ෂණ චාර්කාවකට එක්වුණා. ඒ, ප්‍රදේශයේ පවතින තත්ත්වය පිළිබදව සොයාබැලීම සදහායි. 

එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේ කිසියම් පුද්ගලයෙකුට ඇඳිරි නීති බලපත්‍රයක් අවශ්‍ය වන්නේ නම් 071 85 91 617 හෝ 071 85 91 628 යන දුරකථන අංකවලට ඇමතුමක් ලබාදෙන ලෙසයි.